අවදානමට පෙර සූදානම…..!!

බරා……………….ස්

බස් එක එක පාරටම පාර මැදම වගේ නැවැත්තුව ඉද්ද ගැහුව වගේ…

නින්ද ගිහින් හිටපු මිනිස්සු තමන්ට ඉස්සරහ ආසනයෙ ඔලුව වැදිල ඇහැරුණා…

ඊලඟ නැවතුමෙන් බැහැල ටිකක් දුර ආපහු ඇවිදගෙන යන්න වෙන මිනිස්සු මේ ලැබුණ චාන්ස් එකෙන් පස් වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් බස්එක පාර මැදම නැවැත්තුවෙ ඇයි කියල වග විභාගයක් නැතිවම අනිත් එකාව  පෙරලගෙන, තල්ලු කරගෙන බස් එකෙන් බහින්න ගත්ත.

පාර මැද නවත්තපු බස් එක නිසා මාර්ගය අවහිර වුණු පිටුපස වාහන මර හඬ දෙන්න ගත්ත නිසා කලබල වුණ බස්රථයෙ රියදුරා එකවරම නැවත ධාවනය ආරම්භ කලා.

අනේ….. අම්මේ….. අම්මේ……. මාව දාල යන්න එපා…….!!

අනේ අනේ……….නවත්තන්ඩකෝ…. අනේ මගෙ පුතා තාම බිම….

බස් එක නවත්තන්ඩකෝ…………………..!
පුංචි එකෙක් ගෙ කෑ ගැහිල්ලක් හා අම්මෙක්ගෙ විලාපයක් මැද මගීන් කලබල වෙලා අසුන්වලින් නැගිට්ට

අඩි කිහිපයක් ඉදිරියට ඇදුන බස් රථය නතර වුණා…. අම්ම බස් එකෙන් පැනල දරුව ලඟට දිව්වෙ බස් රථයෙ රියදුරාට හා කොන්දොස්තරට දෙස් දෙවොල් තියමින්

වේලාව රාත්‍රී හත පමණ වෙලා.

පුංචි දරු පැටියත් එක්ක කොහේ හෝ ගමනක් ගිය මේ අම්ම බස් එකට අත දැම්මෙ කලබලෙන්

බස් එක ඉවක් බවක් නැතිව පාර මැදම නතර කළාම තිබුණ කලබලේට දුවගෙන ඇවිත් බහින සෙනග දැකල කලබල වුණ පාර දරුවව නංගන්න අමතක වෙලා ද මන්ද බස් එකට ඉස්සරවෙලාම නැංගෙ අම්ම. එකවරම බස් රථය ධාවනය අරඹපු නිසා දරුවව නංගගන්න ඒ අම්මට වෙලාව නැති වුණා….

අර දරුව පාර මැද තනිවුනේ අන්න එහෙමයි.

හිතන්න………. වාහනයක් එහෙම ආවා නම්…………..?

මගේ හිත බස් එකෙන් බැහැල ගෙදර ඇවිල්ලත් පැය ගණනක් ගැහුණ මේක මතක් වෙන වාරයක් ගානෙ…

උදෑසන වැඩට එන ඔබ විමසිලිමත් නම් පුංචි පුංචි පැටවුන්ව ළදරු පාසල් එක්කරගෙන යන් අම්මල ඔබට මග තොට කොතෙකුත් මුණ ගැසෙනවනෙ

බලන්න………..

මේ අයගෙන් වැඩි දෙනා දරුවව අතින් අල්ලගෙන එක්කරගෙන යනව නම් තමයි

ඒත් දරුවව එක්කරගෙන යන්නෙ පාර පැත්තෙන්. ඒ කියන්නෙ දරුව ඇවිදින්නෙ මාර්ගය පැත්තට වෙන්න පාරෙ

දූවිලි පිඹගෙන, හූ නද දීගෙන, යකෙක් වගේ  එන වාහන ගැන මේ පොඩි දරුවො දන්නෙ මොනවද?

දැන් කාලෙ ගමන් පහසුවට වැඩි දෙනා යතුරු පැදිවල නෙ ගමනාගමනය.

පුංචි දරුවො ඉන්න අම්මල තාත්තල තමන්ගෙ දරුවොත් නංගගෙන යතුරුපැදියෙන් ගමන් යනවනෙ. මේ යන වෙලාවට අම්මයි තාත්තයි දෙන්නම හිස් ආවරණ පැළඳගෙන තමයි යන්නෙ. ඒත් තමන් අතරෙ අඩමානෙට යන දරුවන්ගෙ හිසත් ආරක්ෂා වෙන්න ඕනෙ කියල නම් කිසිම හැඟීමක් නෑ වැඩි දෙනෙක්ට. ඒ කියන්නෙ වැඩි දෙනා හිස් ආවරණය පළඳින්නෙ අනතුරකදි ඒකෙන් හිසට ලබා දෙන ආරක්ෂාව ගැන හිතල නෙවෙයි. පොලීසියෙන් දඩ කන්න වෙයි කියලනෙ.

දවසක් මල්ලියි මමයි වාහනේ යන වෙලාවක ඔය විදියෙම පවුලක් ඉතා අනතුරුදායක විදියට අපේ වාහනයට ඉස්සර කළා. බොහොම අමාරුවෙන් වාහනයේ වේගය පාලනය කරල මේ පවුලෙ ජීවිත බේරපු මල්ලිට ඉබේම මෙහෙම කියවුණා

ඔවු ඉතිං දරුවො නං මොනවද…..? තව දහයක් හරි හදන්න බැරියැ

හදන මැෂින් දෙක බේරුණාම……!

මට මේ සිදුවීම් සියල්ල මතක් වුණේ අද මහ වැස්සෙ බජට් ටැක්සියක ගෙදර එන ගමන් දැක්ක සිදුවීමක් නිසයි.

යතුරු පැදියක පිටුපස ගමන් ගත් කාන්තාවක් එය පදවන තැනැත්තාටත් සමග කුඩයක් ඉහලාගෙන. තද සුළඟ නිසා මේ මනුස්සයට කමන් අල්ලගෙන ඉන්න කුඩය පාලනය කරගන්න බැරිව එහෙට හෙහෙට වැනෙනව.

වැස්ස නිසා තෙමෙන්නෙත් නැතිව ගෙදර යන්න හොඳ  ක්‍රමයක් වෙන්න ඇති.

ඒත්….බැරි වෙලාවත් මේ කුඩය නිසා ධාවනය කරන මනුස්සයගෙ ඉදිරිය ආවරණය වුණොත්….. ???

මිනිස්සු  මේ වගේ වැඩ කරන්නෙ ඇයි………………?

මේක මෝඩකමද….?

නැත්නම් නොසැලකිල්ලද?

අදටත් අපි මෙච්චර ලොකු වෙලත් අපේ අම්ම සති අන්තෙ ගෙදර යන අපි දෙන්න ආපහු කොළඹ එන්න පිටත් වෙනකොට මන්තරයක් වගේ කියන දේවල් ටිකක් තියෙනව

චූටි පුතා….බුදු පහනට වැන්දද???

පාරෙ අයින් වෙලා යන්න

කන්ද උඩටම ගිහින් දෙපැත්ත බලල මිසක් පාර පනින්නෙ එහෙම නෑ ඔන්න…

බස්වලට නගිනකොට බහිනකොට හරි කල්පනාවෙන්…..!

වෙලාවකට ආපහු එන්ඩ තදියමේ ඉන්න අපි දෙන්න ඔය දේවල්

හරි හරි………….අපි පරිස්සමින් යන්නං අම්මා…

කියල නොසලකා ඉන්නව නම් තමයි

ඒත් ……ඒ ටික කියන එක කොච්චර නම් වටිනවද කියල තේරෙන්නෙ මේ වගේ දේවල් අහන දකිනකොට තමයි

පුංචි කතාවක් තියෙනව ලිපිය අවසානෙට ලියන්න

පුංචි කාලෙ අපි හරී ආසයි නෙ ටොපි අරන් දුන්නාම එක ටොපියක් ගොඩාක් වෙලා සූප්පු කර කර ඉන්න, ඒත් අපිට ටොපි අරන් දෙන අම්ම අපි ටොපිය කටේ දාගෙන ඒක හපන කල්ම ඉන්නව.  නැත්නම් ඒක තලලා කෑලි කරල දෙනව. අපි හිර කරගෙන මොකක් හරි ජංජාලයක් කරගනීවි කියල. ඒ කාලෙ අපි දෙන්නත් හරිම අකමැත්තෙන් තමයි ටොපිය හපල කන්නෙ.

ඒත් අදටත් මම ටොපියක් කන්න ගියොත් මට නිරායාසයෙන්ම ඒක හැපෙනව.

කවද හරි මම ඒක මගේ දරුවෙක්ටත් පුරුදු කරාවි

අපි අවදානමක් ගන්නෙ ඇයි පුංචි පුරුද්දක් ගොඩ නගාගෙන ජීවිතේ සිදුවිය හැකි ලොකු ලොකු හානි වලක්වගන්න පුලුවන් නම්…..??

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මට හිතෙන හැටි. Bookmark the permalink.

3 Responses to අවදානමට පෙර සූදානම…..!!

  1. harshadura පවසයි:

    ඇත්ත අක්කෙ ඔයා කියන කතාව…ඕක මේ සමාජයෙ හැටි…:(

  2. අනුරාධ පවසයි:

    දැන් තියෙන හෙල්මට් කොහොමත් හොද පොලීසියෙන් බේරෙන්න විත‍රයි. අනතුරක් උනෝතින් ඔලුව හිල් වෙන්නෙ බිම වැදිලා නෙවෙයි හෙල්මට් එකේ කෑලි ඇනිලා.

  3. මල්ලි ඔය සමාජයෙ හැටි නෙවෙයි, අපි සමාජය ගොඩනගන හැටි නේද? ඉතින්
    අපි අපේ දරුවන්ට හරි දේ කියල දීල විතරක් මදි. අපි හරි දේ කරන්නත් ඔ්නෙ. ඔ්ක සදාකාලිකයි

    අනුරාධ

    ඔයාගෙ කතාව හරි. දැන් කාලෙ හෙල්මට්වලින් හිස ආරක්ෂා වෙන එක නම් සැකයි තමයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )