කච්චි කිරිකඩ පෙට්ටගම් පිරිලා….!

අද දවසෙ කතාවත් මගුල් කතාවක් ම තමයි ඔන්න.

මම මේ ලිපිය ලියන්ඩ කලින් කසාද බැඳපු කීප දෙනෙක්ගෙන් පොඩි ප්‍රශ්නයක් ඇහුව. හැබැයි මේ ඔක්කොමල සිංහල ක්‍රමේට කසාද බැඳපු අය

මගේ ප්‍රශ්නෙ වුණේ මෙන්න මේකයි.

මගුල් ගෙදරක චාරිත්‍ර අතරෙ මනමාලියි මනමාලයයි අකමැතිම කොටස මොකක්ද?

උත්තර කීපයක් ම ලැබුණ.

 පෝරුවෙ චාරිත්‍ර

 කසාද බැඳල පිරිසට වැඳ වැඳ ආචාර කරන එක.

 මංගල සභාව

 මංගල සභාවෙදි අසාර්ථක පවුල් ජීවිත ගත කරන නෑදෑයො පවුල් ජීවිතේ ගැන අනුශාසනා පවත්වන එක

 දෙවැනි ගමන දා තමන්ගෙ අතිශය පෞද්ගලික කාරණා ගැන හොයන්න බලන්න එන එක

ඇත්තම කියන්ඩ ඔය හතර වෙනි හා පස්වෙනි ඒව ගැන නම් මගෙත් කිසීම මනාපයක් නෑ. කසාද බැන්දනම් ඒ ජෝඩුව නටන්න ඕනෙ තමන්ම හදාගත්ත පදේකට මිසක් වෙන කවුරු හරි නටල හෙම්බත් වෙලා ඉන්න, නටන්න තියා, ඇහුවාමත් බඩ දඟලන අනුන්ගෙ පදවලට නෙවෙයිනෙ. අනේ මෙතනදි වරදවා තේරුම් ගන්න එපා වැඩිහිටියන්ට ගරු කිරීම හා සම්බන්ධ කාරණයක් නෙවෙයි මේක. ආදර්ශයක් වෙලා හදවතින්ම යමක් කියන්න පුලුවන් වැඩිහිටියන් ගර්හාවට ලක් කිරීමකුත් නෙවෙයි.

ඒ කාලේ අපි නැටුවෙ මෙන්න මෙහෙමයි….. ඒ නැටිල්ලෙන් අපි ට වෙලා තියෙන්නෙ හොඳක්ද නරකක් ද කියන එකෙන් උඔලට වැඩක් නෑනෙ… ඒකෙන් අපි දුක් විඳිනවද, සැප විඳිනවද කියල උඹල හිතන්න ඕනෙත් නෑ. හැබැයි උඹල නටන්න ඕනෙ මෙන්න මේ අපි නටපු පදේ ඒ ලෙසටමයි….

මම කියන්නේ මෙන්න මේ කියන දේ වැරදියි කියන එකයි. කොහොම හරි මොන හේතුවක් නිසාද මන්දා දැන් කාලෙ වැඩි දෙනා බලන්නෙ පෝරුවෙ ඉන්ඩ තියෙන කාලෙ පුලුවන් තරම් අඩු කරන එකනෙ. ඔය පෝරුවෙ චාරිත්‍ර පටන් ගන්ඩ කලින් පන්සිල් ගන්නවනෙ.

‍දැනට වසර කීපයකට කලින් මම සහභාගි වුණ විවාහ උත්සවයකදි හරිම වැඩක් වුණා. මනමාලියි මනමාලයයි දෙන්න පෝරුවෙ චාරිත්‍රවලට කලින් ඡායාරූප ගන්න යොදාගෙන තිබිල. කොහොම හරි මේ වැඩෙන් මේ දෙන්නට වෙලාවට හෝටලේට එන්න බැරි වෙලා. දැන් පෝරුවට නගින්න දීල තිබුණ නැකත පහු වුණා. දැං මොකද කරන්නෙ….? පෝරුවට නගින්ඩ කලින් තව ගොඩක් ජවනිකාත් තියෙනව ලෑස්ති කරපු. මනමාලය එන්ඩ ඕනෙ පෝරුව ලඟට නැටුම් සහිතව පෙරහැරෙන්, මනමාලි එන්ඩ ඕනෙ ඊලඟට මේව එකක්වත් අඩු කරලත් බෑ හේතු දෙකක් උඩ.

එකක් මේවට යන්නෙ සල්ලි

අනිත් කාරණේ මේ විවාහ උත්සවය රූපගත කරනව. ඒකට මේ අංග ඇතුලත් වෙන්ඩම ඕනෙනෙ.

නැකැත් වෙලාවෙන් පස්සෙ කොහොමත් සුබයි නෙ….ඉතින් කොයි වෙලේ පෝරුවට නැංගම මොකද….?

වැඩෙන් ටිකක් විතර හිත රිදුන මනමාලිගෙ දෙමවුපියො හිත හදාගෙන ඉතිරි වැඩ ටිකත් එහෙමම කරන්ඩ ඉඩ හැරිය. ඒ වුණත් ඔක්කොම වැඩ ටික පොඩ්ඩක් ඉක්මනින් ඉක්මනින් කරන්ඩ කියල අමුත්තන්ට හොරෙං වාගෙ පෝරුවෙ චාරිත්‍ර කරන ඇත්තටයි, නැටුං කණ්ඩායමටයි කියල තිබ්බ.

හැබැයි වැඩේ යද්දි හැමෝටම වගේ තේරුණා දැන් මගුල් ගෙදර වැඩ කටයුතු ටිකක් ෆාස්ට් ෆෝවර්ඩ් වෙනවද මන්ද? වගේ දෙයක්. බෙර ගැහුවෙත්, නැට්ටුවො නැටුවෙත් වෙනදට වඩා වේගෙන්. පොඩි රූකඩ ගතියක් ඇවිත් තිබුණ වෙස් නැටුම් කණ්ඩායමේ නැටුම්වලට… ඊට පස්සෙ කොහොම හරි දෙන්න පෝරුව ළඟට ආවට පස්සෙ යුවල පෝරු මස්තකාරූඪ කරන්න කලින් නමස්කාරය කියන්න එහෙම ඕනෙ නෙ. ඉතින් මේ පෝරුවෙ චාරිත්‍ර කරන්න ඇවිත් හිටපු මනුස්සය කොයි තරම් කළබල වෙලාද හිටියෙ කියනව නම්, දැන් කාලවේලා නැති නිසා අපි හැම දෙනාම නමස්කාරය හිතින් මතක් කර ගනිමු. කියල යුවල පෝරුවට නැංගුවා. ජයමංගල ගාථා කියන පැංචියන්ට කියන්න දුන්නෙ එක ගාථාවයි.

ඒ මනුස්සයගෙ ටාගට් එක වුණේ නැකතට නගින්න බැරි වෙච්ච පෝරුවෙන්මේ ජෝඩුව අඩුම ගානෙ නැකතට බස්සවන්න වත් ඕ‍ෙන කියන එක වෙන්න ඇති…..!

ඒත් මම ලියන්ඩ යන්නෙ නම් ඔය එකක්වත් ගැන නෙවෙයි මේ පෝරුවෙ චාරිත්‍ර අතර මම කැමතිම චාරිත්‍රය ගැනයි.

ඒ මොකක්ද කියල දන්නවද..?

ඒ තමයි කච්චි කිරිකඩ පිරිනැමීමේ අවස්ථාව.

විවාහයකදි යුවල පෝරු මස්තකාරූඪ කළෘට පස්සෙ මනාලියගේ මවට මනාලයා සුදු රෙදි කච්චියක් පිරිනමා ආචාර කරනව. මේ රෙදි කච්චියට කියන්නෙ “කිරිකඩ හේලය” කියලයි. මේ රෙදි කච්චිය දෙන්න හේතු වුණු අතීතයේ පටන් පැවත එන කතා පුවතක් තියෙනව. මේ පුවත පෝරුවෙදි කියන්නෙ කවියෙන්…. මං ආසම මෙන්න මේ කවි‍ ටිකට සහ මේ කවිවලින් කියවෙන අදහසටයි… මට මේ කවි පන්තියම නම් පාඩම් නෑ. ඒත් පොඩි කාලෙ ඉඳලම මඟුල් ගෙවල්වල ජයමංගල ගාථා කියන්ඩ ගිහිල්ලයි, සහභාගි වුණූ මගුල් ගෙවල්වලදි ඇහිලයි, මට මේ කවිවල තැනින් තැනින් මතකයි. ඒත් එක දවසකවත් හරියට ඇහුම්කන් දීල මේ කවි මතක තියාගන්න බැරි වුණානෙ කියල දුක හිතුනෙ මේ බ්ලොග් ලින්න පටන් ගත්තට පස්සෙයි. සෑහෙන්න උත්සාහ කළා මේ කවි ටික හොයා ගන්න. අම්මටවත් මතක තිබ්බෙ නෑ නෙ…. යූ ටියුබ් වීඩියෝ අතරෙත් හෙව්ව. ඒත් හැමෝම වගේ එයාලගෙ වෙඩින් වීඩියෝව දාල තිබුණෙ මට ඕනෙම කෑල්ල නැතිව එඩිට් කරල. එක්කො අම්ම මේ රෙදි කච්චිය අරගෙන යන ටික විතරයි. කමක් නෑ ඉතිං…. කතාව විස්තර කරන ගමන් අතරින් පතර මතක තියෙන කවි පද කියන්නම් කො. කතාව පටන් ගන්නෙ මෙන් මෙහෙමයි.

ඔක්කාක රජ කල

සුබ්‍රහ්ම යැයි නම් කළ

නායක බමූණු කුල

තමයි කිරිකඩ කච්චියේ මුල

මට මේ කවි සියල්ල මතක නැති නිසා මම ලියන දේ හරි ම නොවෙන්න පුලුවන් නෙ. ඉතිං කවුරු හරි මේ කවි දන්නව නම් මාව නිවැරදි කිරීමත් ඉතාම අගය කොට සළකනව.

ඔක්කාක නම් රජ කාලයේ සිටි සුබ්‍රහ්ම නම් බමුණාගේ දියණිය බමුණු කුමරෙක්ට පාවා දෙන්නට සැරසුන අවස්ථාවෙ මේ දියණියගෙ මෑණියන් අර බමුණු කුමාරයට ලඟට ගිහින් මෙන්න මෙහෙම කියනව

අනෙක දුක් වින්දා

මා පුත මෙ දුව සන්දා

දෙතනෙ කිරි කන්දා

මගෙන් කොපමණ බොන්ට ඇත්දා

ඉතින් බමුණු කුමාරය අහනව මෙන්න මෙහෙම

මෑණියනි, ඔබ අනේක දුක් විඳ, ඉතා ආදරයෙන් මලක් සේ වැඩූ මේ දියණිය කරකාර ගෙන යන ‍මේ අවස්ථාවේ ඇය ඔබෙන් බිව් කිරි වලට සරිලන යමක් ඇත්නම් වහා පවසනු මැනව. මා ඒ ගෙනැවිත් ඔබට පුදන්නෙම්…..!

එතකොට මේ මෑණියන් කියනව මෙහෙම

දුවට දුන් කිරි නම්

මැනලා නැ‍තේ මා නම්…….

මෙහෙම සංවාදාත්මක කවි පෙළකින් පස්සෙ මේ මෑණියන් කියනව මෙහෙම

කච්චියක් රෙදි සරි

පෙ‍ඟෙන්නට ඇත දුවට දුන් කිරි

ඉතින් මේ බමුණු කුමරා මොකද කරන්නෙ රෙදි කච්චියක් ගෙනැවිත් රන් හෙප්පු. රන් කිල්ලෝට, රන් ගාපු ගිරයක් එහෙම මේ රෙදි කචචිය උඩ තියල ‍මවු බැමිණීයට පූජා කරල දුව ආවාහ කරගන්ඩ අවසර පතනව. මෑණියන් මේ රෙදි කච්චිය පිළි අරගෙන හිස මත තබාගෙන බමුණු කුමාරයට ආශිර්වාද කරනව…. ඈ සමග යහපත් යුග දිවියක් අරඹන්ඩ….. මේ කවි පන්තිය නිසි පරිදි ගැයෙද්දි පෝරුවෙ චාරිත්‍රවලට බොහොම සංවේදී බවින් යුක්තව සහභාගි වුණ මනාල යුවලවල් ඉතාම හැඟීම්බර වෙනව මම දැකල තියෙනව. විශේෂයෙන් මනාලියට හා ඇගේ මවට මේ කවි පන්තිය ඇහෙනවිට කඳුලක් ඇසට නැගෙන්නේ නිරායාසයෙන්…

කලාතුරකින්, තමන්ගෙ වත්සුණු තැවරුම් කඳුලින් සේදී යාදෝයි හඩන්නට බියෙන් මනාලිය ආයාසයෙන් සිය හැඬුම් නවතා ගැනීම හෝ.. මා පෙර සඳහන් කළ ආකාරයට චාරිත්‍ර ෆාස්ට් ෆෝවර්ඩ් වීම හෝ ඇතැම් ඡායාරූප ශිල්පීන් විසින් විවාහ කටයුතු මෙහෙයවන්නට යාමෙන් මේ චාරිත්‍රය ගැන මනාලියගේ අවධානයට ලක් නොවී යාන්ත්‍රිකව මේ කටයුත්ත සිදු වෙන‍ අවස්ථාද මා දැක තිබෙනවා.

හා…. දැන් මනාලියගෙ අම්ම එන්ඩ පෝරුව ඉස්සරහට….

ගන්ඩ මනමාල මහත්තය මේ රෙදි කච්චිය

මේ චාරිත්‍රය කරන්ඩ ‍ෙහ්තු වුණු රසවත් අතීත කතාවක් ඇතත් කාල වේලාව බොහෝ ඉකුත් වී ඇති බැවින් අප මේ චාරිත්‍රය පමණක් ඉටු කරනව….

හා දැං…. අම්ම ගන්ඩ මේ රෙදි කච්චිය මනමාල මහත්තයගෙන්

දැං ඔලුවෙ තියා ගන්ඩ…

ආං එහෙම… දැං දෙන්නම එක්කල මවට ආචාර කරන්ඩ...

දැං අම්ම මේක ඔලුවෙ තියාගෙනම පෝරුවෙන් එහාට ඇවිදගෙන යන්ඩ…

මේ අර ෆාස්ට් ෆෝවර්ඩ් වෙඩිමෙ මම ආසම කෑල්ලට මෙච්ච දේ….! ‍

මේ කවි ගැන පූර්ව අවබෝධයක් නොවූ යුවලකට මේ අවස්ථාව තවත් එක් සිදුවීමක් පමණයි. නමුත් මේ කවි පන්තිය නිසි පරිදි ගැයුණා නම් සහභාගි වන හැම දෙනාටමත් මේ අවස්ථාවෙ වැදගත්කම දැනෙනව. මේ කවි පන්තියේ එන බැමිණිය ඇත්තටම මේ බමුණු කුමාරයගෙන් තමන් දුවට දුන් කිරිවලට හිලව් වෙන්ඩ යමක් ඉල්ලනව නෙවෙයි නෙ මේ….. දුවක තමන්ගෙන් වෙන්ව යුග දිවි අරඹන එක මවකට සතුටක් වෙනවා සමගම ඇය තමන්ගෙන් වෙන්වීමේ අවස්ථාව කෙතරම් දුක්බර ද කියල යි මේ කවි පන්තියෙන් දැනෙන්නෙ… මේ චාරිත්‍රය පෝරුවේ චාරිත්‍ර අතරට එන්න ඇත්තෙත් ඒ සඳහාම වෙන්න ඇති. මවකට මේ අවස්ථාවේදී දැනෙන දුක වේදනාව දුවකට දැනෙන්නෙ කවදා හෝ ඇයගේ දුවක සරණ යන කාලයකනෙ…. මේ කවි ටික ඇහුණාම දුවෙකුට සැබෑ ලෙසින්ම තමන්ගෙ අම්ම පමණක් නෙවෙයි, ‍ තමා කෙදිනක හෝ විඳින්නට යන, දුවෙක් හදාවඩා ගන්නට මේ මුලු මහත් ලෝකයේම මවුවරුන්ම විඳි දුක දැනෙනව.

නමුත් මේ කතාවෙ දුකම හිතෙන කාරණය මෙන්න මේකයි.

පෝරුවෙදි කච්චි කිරිකඩ දීල වැඳල, අම්මව බදාගෙන අඬපුවාම බීපු කිරට ණය ගෙව්වයි කියල හි‍තන දූවරුත් ඉන්නවනෙ.

මේ සටහන අවසාන කරන්න යන මට මතක් වෙනව දැනට අවුරුදු හත අටකට කලින් අපේ අම්ම රජරට සේවයේ සරල ගී වැඩසටහනකට ගැයූ ගීතයක්.

කච්චි කිරිකඩ පෙට්ටගම් පිරිලා

පුස්ඹ සිත් වටකරේ ගොනු ගැහිලා

විලක් මල් පෙරහරක් නිම කරලා

හිඳිත් දූ දරුවන් දුරස් වීලා

(මේ ගේය පද මහව හේරත් කියල මාම කෙනෙක්ගෙ)

ප.ලි ‍මේ සියලුම කවි ලියන්නට ඒවා මා මතකයේ නැත. එබැවින් මේ කවි පන්තිය දන්නා අයෙකු වේ නම් එම කවි පන්තිය මෙහි ලියන්නැයි ඉල්ලනවා…..

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in Uncategorized. Bookmark the permalink.

7 Responses to කච්චි කිරිකඩ පෙට්ටගම් පිරිලා….!

  1. jhothishalanka පවසයි:

    රෙදි කච්චියේ ඉතිහාස කතාව මම දැන ගත්තේ අද තමයි.අපේ අම්ම ගෙන් ඒ කතාව ගැන ඇහුවාම අම්ම කිව්වේත් එහෙම තමයි.මගේ බ්ලොගයත් සාම්ප්‍රදායික විෂයකට අදාල නිසා මේ වගේ දේවල් දැනන් ඉන්න එක හොදයි. විස්තර කරල ලියල තිබුණට බොහොම ස්තූතියි

  2. කාංචන පවසයි:

    ඔය කවිටික නම් මම අහල තියන බවක් මතක නෑ.. පොරුවේ චාරිත්‍ර කරන වෙලාවල්වල ඒ අසල ඉඳලම නෑ වගේ. (දවස්ගානකට පස්සේ ජාලගතවුනේ… ඒකට හේතුවත් මඟුලක්ම තමයි. 😀 )

  3. ගෝල්ඩ් fish පවසයි:

    වටිනා ලිපියක්. දන්නෙ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා.

  4. තිලංක නිරෝෂණ පවසයි:

    දිවයින පත්තරේ ඔය ගැන පොඩි ලිපියක් තියෙනවා.
    http://www.divaina.com/2011/03/11/naka06.html

  5. ලාරා පවසයි:

    ඒ අවස්ථාව නං අති සංවේදීයී.
    හැබැයි ෆොටෝ මෑන්ට මම කිව්වා කියලා අද වගේ මතකයි,
    “ඔයා ඒක පාරින්ම වෙඩිමෙ shot capture කරන්න, මොකද…. ඒකක් හරි මග අැරැනොත් ඒක අාෙය් ගන්න මම රගපාන්නෙ නෑ, ඒ අවස්ථාවෙ නැවතිල ඉන්නෙත් නෑ කියලා”.
    මොකද…. වෙඩිම චිත්තරපටියක් වෙනවට මම කැමති වුනේ නෑ. ඉතින් මිනිහා හරියටම වැඩේ කලා.
    (පරක්කු කොමෙන්ටුවකි. තරහ අවසර. මම තාම අලුත්. පරණ ඒවා කියවමිනුයි ඉන්නෙ)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )