අරුම පුදුම අකුරු සහ පරීක්ෂණය

කෝ…… දුව එන්නකො ළඟට.

එන්නකො….. අපි මේ ‍කොලේ ඇඳල තියෙන ඉර දිගේ කපන්නකො.

එදා සවස මා නිරීක්ෂණය කිරීමට ආ එක් ගුරුතුමියක් ආදර බසින් කිව්වාය.

ඒ මොකටද…. ඒ?

මම ඇසුවෙමි.

ඇය, ඇය හා පැමිණ සිටි තවත් ගුරුතුමියකට  ඒ හා සමානම කොලයක් අතට දී මෙසේ පැවසුවාය,

අපි බලමු මේ ටීචටද ඔයාටද ලස්සනට මේක කරන්න පුලුවන් කියල හොඳ ද?

හා……

සිනහවක් මුවෙහි නංවා ගෙන මා කතුර ගෙන මේ හතරැස් කොලයේ විකර්ණයක් දිගේ ඇඳ තිබූ රේඛාව දිගේ කපාගෙන යන ආකාරය පෙර කී ගුරුතුමියගේ දැඩි නිරීක්ෂණයට හසු වේ.

හරී……

මේ තියෙන්නෙ ශෝක් එකට……

ඇය මා අගය කරන ගමන්ම අනෙත් ගුරුතුමියට යමක් කීවාය.

කෝ දුවගෙ පාට පෙට්ටිය…..?

අපි චිත්‍රයක් අඳින්නද යන්නෙ දැන්……? මං ඒකට නං කැමතියි.

මම වහ වහා අම්මා අලුතෙන්ම මේ ඉසව්ව සඳහාම රැගෙන දුන් මගේ අලුත්ම හොම්රන් පැස් පාට පෙට්ටිය ආඩම්බරයෙන් එලියට ගත්තෙමි.

ආ මේ තියෙන්නෙ… දුවට පාට කරන්න අපි රූප අරං ආව නෙ…

නැවතත් කොලයක් මවෙතට දිගු වේ.

එහි වූයේ ත්‍රිකෝණයක් වෘත්තයක් හා සමචතුරස්‍රයක් පමණි.

අපෝ මේක පාට කරන්න මට බෑ… ම‍ට ඕනෙ ලස්සන චිත්‍රයක් අඳින්න.

මම එය පාට කිරීමට විරෝධය පෑවෙමි.

අපි මේක පාට කරල ඉවර වෙලා ලස්සන චිත්‍රයක් අඳිමුකො දුව… දැන් අපි මේක පාට කරමු කො

නොකැමැත්තෙන් මෙන් මා එයට එකඟව පාට කරන්නට ගත්තෙමි.

ඇයි මේ එකම පාටින් පාට කරන්නෙ… ? මේ තව තියෙන්නෙ පාට…

අනේ එපා මගෙ පාට අල්ලන්න ඒව කැ‍ෙඩයි.

මම අලුතෙන්ම ගෙනා පාට පෙට්ටිය අල්ලනවාට කැමැත්තක් නොදැක්වීමි.

නෑ නෑ… කැඩෙන්නෙ නෑ. ගන්න‍කො මේ කහ පාට…

ඇය මගේ පාට පෙට්ටියෙන් කහ පාට ගෙන මා අතට දුන්නාය

මම එය ගෙන පාට කරන්නට වීමි.

එක වරම මගේ අත බර වී පාට කූර දෙකට මැදින් කැඩුණි.

අනේ මෙන්………..න මගෙ පාට කූර කැඩුණනෙ…

ආ…. ඒ කට කම්ක් නෑ ආ මේ කෑල්ල ගන්නකො….

ඇය කඩදාසි ආවරණය ඇතුලෙන් පමණක් දෙකට වෙන්වී තිබුණු පාට කූර දෙකට වෙන් කර මගේ අතේ තැබුවාය.

අයියෝ…. ඇයි කැඩුවෙ මගෙ පාට… දැන් අම්ම මට හොඳටම බනියි.

මගේ මුහුණ හැඬුම බරය

නෑ නෑ අපි කියන්නම් කො අපි තමයි කැඩුවෙ කියල ඔයාගෙ පාට කූර

මේ බලන්ඩකො…

දුව ලස්සනට පාට කරල තියෙනවනෙ… මගෙ දුව ආසද අකුරු ලියන්න…..?

ඔවු…. ආසයි…

මට සියල්ල ක්ෂණයකින් අමතකය.

එහෙනම් ලියමුද අපි අකුරු….?

හා…..

ඇය මට පිටපත් කරන්නට කඩදාසියක ලියු වචන කීපයක් දුන්නාය.

මම ලියන්නට ගතිමි

අම්මා, තාත්තා, කිරිබත්.

මා ලියමින් සිටින අතර ගුරුවරියන් දෙදෙනාගේ නිශ්ශබ්දතාව මන්ද……?

විමසන්නට හිස ඔසවා බලන විට මා දුටුවේ දෙදෙනා මා දෙසත්, මා ලියන දේ දෙසත් බලා මුහුණෙන් මුහුණ බලාගත් ආකාරයයි.

මේ සිද්ධිය මට යාන්තමින් මතක තිබුණි…. එය අවසන් වූ ආකාරය මාගේ මතකයේ නැත. ඉතිරි කොටස්  මතක කළේ අම්මායි.

මා වමත් හුරු එකියක් වෙමි. එසේම පොඩි ගොත ගැහිල්ලකුත් ඇත. (තවමත් තිබේ.)

කොහේ හෝ අධ්‍යාපන ආයතනයකින් පැමිණි මා නාඳුනන ඒ ගුරුතුමියන් විසින් බාලාංශයේ සිටි මා පාසල් වේලාවෙන් පසු රඳවා තබාගෙන පරීක්ෂා කළේ… මගේ විස්මයාන්විත අකුරු ය.

චූටි පුතා… ඔයා ඉස්සර වෙලාම අකුරු ලිව්වෙ අනිත් පැත්තට නෙ…. අපිත් බය වුණා ඔයාට අකුරු ලියන්නම බැරි වෙයිද කියල. ඒ ටීචර්ස්ල ආවෙ ඔයාව ටෙස්ට් කරන්ඩ.

පසුගිය දිනක මේ පරීක්ෂණය ගැන යාන්තම් මතක තිබී මා ඒ ගැන ඇසූ වේලේ අම්මා කීවාය. මා වමත් හුරු වූවා පමණක් නොව එවකට මා අකුරු ලියා ඇත්තේද කණපිටට ය.

 

අයියෝ….. ඇත්තද….? ඉතින් එයාල  මොනවද කළේ මගෙ අකුරු දැකල?

දැන් මගේ කුතුහලය වැඩි ය

ඔයාට වැලි පිල්ලක අකුරු ලියවන්ඩ කිව්ව

ආ….. ඉතිං ……… මම ලිව්වද?

ඔව්…. අපි බොහොම අමාරුවෙන් තමයි වැලි පිල්ලෙ ලියවල ඔයාට හරියට අකුරු ලියන්ඩ පුරුදු කලේ

අම්මා දැන් නම් කියන්නෙ හිනා මුවින්….

ඔවු ….. මට මතකයි ඉස්සර දෙකේ පන්තියෙ වගේ ඉන්න කොට ළමයින්ගෙ පාඩම් බලන්නෙ ළමයි ලව්වම පොත් මාරු කරලනෙ.

කවුරුත් කැමති නෑ අම්මෙ ඉස්සර මට කියල පොත් බලා ගන්න

එයාල කිව්වෙ මම හරි දාන්නෙ අනිත් පැත්තට කියල …..

අම්මා දැන් මා හා එක්ව සිනාසුණත් එවකට මාගේ ඒ දුර්වලකම් දැක මොන තරම් දුක් වන්නට ඇත්ද….?.

ඒත් මා හොඳාකාරවම දන්නා එක් දෙයක් ඇත.

ඒ අද ඇය මා ගැන සතුටු වන බවයි……!

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි. Bookmark the permalink.

9 Responses to අරුම පුදුම අකුරු සහ පරීක්ෂණය

  1. ඔයාට සිංහල නැතුව අරාබි භාෂාව උගන්නන්නයි තිබ්බෙ. 😀

    මේ වගේ කණපිට ලියන්න පුළුවන් කමත් විශේෂ හැකියාවක්. ලියනාඩෝ ඩාවින්චි ලියපු ලේඛන කියවන්න ඕනෙ කණ්නාඩියක් ඉස්සරහ තියලා

  2. hemaldanu says:

    කොහේදෝ යද්දි අහම්බෙන්ම මුන ගැහුනට කියෙව්ව….
    පුන්චි කාලෙ අකුරු කොයි අතකට ගැලපුවත්…ලොකු වුනාම ඒ අකුරු තිකම අලංකාරව පෙල ගස්සවල තියෙනව…. කෙනෙක්ව ආකර්ශණය කරගන්න පුලුවන් වෙන විදියට…
    ඒ හින්ද ඔයා………………
    ඔයා ගැන ආඩම්බර වෙන්න…..

  3. මකර අධිරාජයාට හා වෙන කොහේදෝ යන ගමන් මගේ භවනට ගොඩ වැදුනු හේමාල්ටත් බොහෝ තුති.
    මකරෝ…. මේ අකුරු අනිත් පැත්තට ලියන එක අද කාලෙ නම් විශේෂ හැකියාවක් විදියටත් සලකයි. පරීක්ෂණත් කරයි. ඒත් මට මතකයි අපේ ආච්චි අම්ම එහෙම බය වුණා මම මේ විදියට අකුරු ලියද්දි. ඒ නිසාම එයා වමතින් කෑම කාපු මාව බලෙන්ම දකුණු අතින් කන්නත් පුරුදු කරල.
    මම තාමත් ඉඳල හිටල බලනව මට වමතින් කන්න පුලුවන්ද කියල….. අනේ දැන් බෑනෙ….. 😦
    අපරාදෙ කියල මට හිතෙනව……

    හේමාල්…

    මට තාමත් මතකයි ඉස්සර නම් මම ඔය විදියට ලියාගෙන යනව කිසිම ආයාසයකින් තොරව.
    ඊයෙ පේන්ට් මෘදුකාංගෙට පින් අත් වෙන්න මම ඒටික ලියා ගත්තෙ.
    අපරාදෙ කියන්ඩ බෑ මගෙ පැය බාගයක්ම වැය වුණා වැඩේට.
    කො‍හොමද පුංචි කාලෙම මේ බව නිරීක්ෂණය කරපු අපේ එක වසරෙ ටිකිරි මැණිකෙ ගුරුතුමී අපේ අම්මට මේ ගැන කියල තව ගුරුවරු එක්ක මගෙ අකුරු පරීක්ෂෘ කරල, වැලි පිල්ලෙ අකුරු ලියෙව්වෙ නැත්නම්……………..,
    සමහරවිට මමත් තාරේ සමීන් පර් චිත්‍රපටයේ ඉශාන් වගේ වෙන්න තිබුණ නේද?

  4. පුතා says:

    හදිස්සියෙන් හිතිල බ්ලොග් ලියන්ට පටන් ගත්තා වුනත් ලිවීම දිගටම කරපු බවක් කියවද්දි දැනෙනවා…. ලිවීම නියමයි…

  5. කාංචන says:

    නලල උඩ කොලයක් තියාගෙන පෑනකින් ඒ කොලේ වචනයක් ලියල බලන්න මොකද වෙන්නෙ කියලා.

  6. ඔයා මේ movie එක හොයා ගෙන බලන්න. Taare Zameen Par මේකේ කියවෙන්නෙත් ඔයා පුංචි ිරිමි ළමයෙක් ගැන.

  7. ජනූ, අහම්බෙන් ඔයාගේ බ්ලොග් අඩවිය දැකලා මේ ලිපි ටික කියවගෙන එන ගමන්. මල්දෙණියේ විත්ති ගැන කියවෙන කතා හරිම සුන්දරයි. ඔයා ලියලා තියන විදියට ඒ ලස්සන තවත් වැඩි වෙනවා. මගේ මහත්තයගෙ ගමත් සීතාවක පැත්තේ තමයි. ඉතිං මේ ලිපියටම comment එකක් දාන්න හිතුණ හේතුව කියන්නංකෝ. මම දකුණතට හුරු වෙච්ච කෙනෙක්. ඒත් මම වම් අතින් ලියන්න උත්සාහ කරලා තියනවා නිකම් ආසාවට. වම් අතින් ලියද්දි මට පුංචි ජනූට වගේ කණපිටට තමයි ලියවෙන්නේ. තාමත් එහෙමයි. ඒත් මට හුරු වෙච්ච දකුණු අතෙන් මට හරියට ලියන්න පුළුවන්. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. මේ ලඟදි මගේ යාළුවො ටිකක් මගේ වම් අතින් ලියන හැටි දැකලා හිතාගන්න බැරුව පුදුම වෙනකල්ම මං හිතං හිටියේ ඒක හැමෝටම වෙන දෙයක් කියලා – හුරු අතින් හරියට ලියනවා, අනිත් අතින් කණපිටට ලියනවා… 😀
    ඔන්න එහෙනං මං යනවා ඔයාගේ ඉතිරි පෝස්ට් ටික කියවන්න. ඔයාට ජයෙන් ජයම පතනවා.

    • අක්කේ,
      ස්තූතියි මේ පැත්තට ගොඩවැදුණට. ස්තූතියි අගය කිරීම ගැනත්. අනේ මන්ද ඉස්සර අපේ ආච්චි අම්මල එහෙම එච්චර කැමති වුණේ නෑ වමෙන් ලියනව කියල. එයාල බලෙන්ම වගේ මාව හුරු කරන්ඩ හැදුව දකුණට. දැන් මම කන්නෙ දකුණෙන්. ලියන්නෙ වමෙන්.
      වමත් හුරු වීම නම් ගැටලුවක් වුණේ නෑ කැම්පස් ඇවිත් අර ලියන ලෑල්ලක් හයි කරපු පුටුවෙ ඉඳගෙන දේශනවලට යන්ඩ වෙනකල්. කොහෙද වම් පැත්තට ලෑල්ල හයි කරපු පුටු තිබ්බනම් තිබ්බෙ හතරයි පහයි. ඒවත් කැඩිල. දකුණට හයි කරපු ලෑල්ලෙ තියාගෙන වමෙන් ලියනව කියන්නෙ කොන්ද ඇදෙන වැඩක්…..
      ඒත් මම ගොත ගහන එක ගැන මම කතා කරලම නෑනෙ තාම…… ඒ ගැනත් හරි හරි කතා තියෙනව….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s