අපේ මලයයි මායි

ඇත්තම කියන්ඩ අපේ මලය ඉපදෙනව නං මට මතක නෑ. එක අතකට පුදුම වෙන්ඩ දෙයක් යැ… ඒ වෙන කොට මමත් යාන්තං අවුරුද්දයි මාස දහයක් වෙච්ච කෙලි පැංචියෙක් නෙ…. ඒ දවස්වල අපේ චූටි නැන්දගෙ පුතා අමිල මල්ලියි, ලොකු නැන්දගෙ පුතා තමර මල්ලියි, ප්‍රමුදිත හෙවත් අපේ  මල්ලියි කට්ටියම ළග ළගම නෙ ඉපදුනේ. මේ ඉන්නෙ මමයි, අපේ මලයයි, තමර මලයයි මගෙ යාලුව කානේශයි

TM හෙවත් තමර, මල්ලි, ජනූ හෙවත් මම හා මගේ මිතුරි කානි

සමහර විට මට මල්ලිගෙ පුංචිම කාලෙ ගැන මතකයක් නැත්තෙ එයා ඉපදුන ගමන්ම වගේ අපේගෙදර ළදරු ගහණය වැඩි වීම හේතුවෙන් ආච්චි අම්මලගෙ ගෙදර‍ ඒ කියන්නෙ අපේ අම්මගෙ අම්ම ළගට අරගෙන ගිය නිසා වෙන්නත් ඇති. එකම එක සිද්ධියක් නම් මතකයි. අම්මලගෙ ගම ඇහැලියගොඩට කිට්ටුව දෙහිඕවිට. දැන් නම් පාලමක් එහෙම දාල තිබුණට ඒ කාලෙ ගමේ ගෙදරට යන්ඩ ඕනෙ ඔරුවකින්  සීතාවක ගග තරණය කරල ඊට පස්සෙ තේ වගාවෙන් පිරිච්ච කදු ගැටයකුත් නැගලයි. ඔය කන්දෙ මුදුනෙම තමයි ගමේ මහ ‍ගෙදර තිබුණෙ.

මේ තියෙන්නෙ අපි මාස දෙක තුනකට කලින් කවුරුවත් පදිංචි වෙලා නැතිව අත හැර දාල තිබුණු අම්මලගෙ මහ ගෙදර බලන්ඩ ගිය ගමනෙදි මල්ලි එයා හැදුණ ගෙදර ඉස්සරහදි ගත්ත ඡායාරූපයක්.

මල්ලි හා ගමේ ගෙදර

( දැන් මේ ගෙදර ප්‍රතිසංස්කරණ කටයුතු නිම වෙන්ඩ ළගයි. ළගදීම යනව ආයෙමත් ගෙදර බලන්ඩ)

මල්ලි ආච්චි අම්මලගෙ ගෙදර හිටිය කාලෙ දවසක අම්මයි මයි මල්ලිව බලන්න ගියා. ඒ කාල අපිටම කියල වාහනයක් එහෙම නෑ නෙ. ඉතිං අපිට ගෙදර ඉදල අම්මලගෙ ගමට යන්ඩ බස් පහක යන්ඩ ඕනෙ. උදේ පාන්දර ගෙදරින් ගියාම හවස තුන හතර වෙනව ගමට යද්දි. ඉතිං ඔන්න අම්මයි මයි දෙන්න උදේම පිටත් වුණා. හවස් වෙනකොට ගමට යා ගත්ත. මග දිගට මොර සූරන මහ වැස්ස. අම්ම මාව තෙමෙන්නෙ නැති වෙන්න සාරි පොටෙන් එහෙම වහ ගත්ත සිද්ධිත් මට හීනෙන් වගේ මතකයි. කොහොම හරි ගමට ගිහින් බැස්සම එතන කඩපලේ කට්ටිය කියපි ගග ගලල තියෙන්නෙ සීමොන් මාමගෙ ඔරුව අද නෑ කියල. අනේ අපි දෙන්න ඔරුව තියෙයි ද බලන්න ගංවතුර දාල තියෙන සීමාවටම ගියා. ඒත් අපිට එගොඩට යන්ඩ බැරි වුණා… එදා අපි ආපහු අපේ ගෙදර ආවද නැද්ද.. කොහෙද හිටියෙ කියල මට මතක නෑ.ඒත් කලින් දවසෙ රෑ ඉදලම මල්ලියව බලන්න යන්න සූදානමෙන් ඉහ වහ ගිය සන්තෝසෙන් හිටපු පුංචි ජනූගෙ හිත නම් හොදටම රිදුන කියල තාමත් මතකයි වැස්ස වලාහක දෙයි‍ෙයා මේ කරපු නෝටි වැඩෙන්.

ඉතිං ඹන්න ඔහොම අපි දෙන්න ටික ටික ලොකු වුණා. මම මොන්ටිසෝරි යන්න පටන් ගත්ත. මල්ලි අපේ ගෙදරට ආපහු එක්ක ආවෙ කොයි කාලෙද කියල මට මතක නෑ. ඒත් පුංචි කාලෙ ‍පොටෝවල මිනිහ ඉන්නව හරියට බෝලයක් වගේ. ඉපදෙනකොටත් මිනිහ හරි මහතයි  කියල අපේ මෑණියො කිව්ව. ආ….දැන් තව කතාවක් මතක් වුණා නෙ. අම්ම මට කතා කරන්නෙ චූටි පුතා කියල මලයට කියන්නෙ සුදු පුතා කියල. මේක මල්ලි ඉපදුනාම මම කරපු රික්වෙස්ට් එකක්ලු.

අම්ම දැන් මල්ලියට චූටි පුතා කියන්ඩ එහෙම එපා. මට චූටි පුතා කියලම කියන්ඩ කියල

ඉතින් අම්ම ඇහුවලු

එතකොට මල්ලියට කියන්නෙ මොකක් ද කියල

මම කිවවලු

එයාට සුදු පුතා කියන්ඩ කියල

පස්සෙ ටික ටික ලොකු වෙනකොට තමයි මට සත්‍ය තත්වය අවබෝධ වුණේ මම පොඩි කාලෙම පොට වරද්දගෙන නෙ

මේ වෙනකොට මට හරි තරහයි මල්ලිට සුදු පුතා කියනවට.

දැන් ඉතිං ප්‍රමාද වැඩියි ඔයාමනෙ කිවුවෙ ඔයාට චූටි පුතාම කියන්ඩ කියල මවු තුමිත් පුතාට අදිනව. එයත් කැමති පුතාට සුදු පුතා කියන්ඩ වගේ…. මට තදවෙනව

දැන් මෙච්චර ලොකු වෙලත්, ටීවී බලන්න අම්ම අපිට දාල දූන්න ඇද බෙදා ගන්න වගේ දේවල්වලට තාමත් උන්න ගමන් දෙන්න බොරු වලි දාගන්නව නෙ. ඒවෙලාවට ම පැරදීගෙන එනව නම්,

තමුසෙට සුදු පුතා කිවුවට තමුසෙගෙ කොහෙද සුදු? කියල මම අහනව

චූටි කාලෙ නම් සද්ද වහල හිටියට දැන් මලය අහනව

ආ.. එතකොට තමුසෙ‍ගෙ කොහෙද චූටි…? කියල

කාල වරෙන්කො…..!

පහුගිය දවසක අපේ ගෙදර ශෝ කේස් එකේ ලාච්චුවක් නිරීක්ෂණය කරද්දි  අපේ තාත්ත අපි දෙන්නත් එක්ක  පුංචි කාලෙ කරපු පොඩි වැඩක නටඹුන් හම්බ වුණානෙ ( මට පුංචි කාලෙ ඉදලම හරිම උණක් තියනව ගෙදර ලාච්චු ගවේශනය කරන. අම්මගෙ හෑන්ඩ් බෑග් එක අවුස්සන… අම්මට පෙන්නන්නම බැරි වැඩක් කමයි ඕක. ඒත් මට ඒක හරිම විනෝදයි. මොනවත් හොරකම් කරන්න වත් නරක වැඩකටවත් නෙවෙයි. මම එහෙම කරන්නෙ එහෙම ඇදල හම්බවෙන පුංචි පුංචි දේවල් දිහා බලාගෙන කතන්දරයක් ගොතාගෙන වරුවක් විතර ඔය කතන්දරේ ඇතුලෙ ජීවත් වෙන්ඩ මට පුලුවන්. මගෙ කතා පස්සෙ ලියන්නම්කො)  හම්බ වුණේ කැසට් පීස් එකක්. තාත්ත අපි දෙන්නට මයික් එකක් දීල අපි දෙන්නගෙ සින්දු, කතා රෙකෝඩ් කරල තිබුණ කැසට් පීස් එකක්. අවාසනාවට ඒක හොද තත්ත්වයේ තිබුණෙ නෑ. අහන්න ගිහින් ටේප් එක හෙඩ් එකෙත් එතුන. ඒත් යන්තම් සංරක්ෂණය කරගන්න පුලුවන්.

මෙන්න මේ වගේ සංවාදත් ඒකෙ තියෙනව

චාච්චෙ.. චාච්චෙ මොකජ්ජ කජේ මල්ලියගෙ නමඅඅඅ….?

කෝ ඉතිං කියන්ඩ සින්දුව මේකෙ රෙකෝඩ් වෙන්ඩ

අනේ චාච්චෙ කියන්ජකෝ…..අනේ චාච්චෙ?

කෝ ඔයා පටන්ගන්ඩකො සින්දුව…. තාත්ත එහෙම කියන්නෙ මට

කිරි සුදු හා….වා….

පැන පැන ආ…වා….

එළවලු කොටුවේ….දලු කොළ කෑ…වා…

ඔන්න මලයට ප්‍රශ්නෙ අමතක වෙලා  සින්දුව පටන් ගන්නව

ජැක මගෙ පම්බයා….

බිය වී….. වෙඋලා….

වැචච උජිං ඌ පැනලා…. ජ්ජිවුවා….

මෙතන “පැනලා දිවුවා” කියල මිනිහ කියන්නෙ ඒකෙ ජීවත් වෙලා. පුංචි ළමයි අර ඇත්තටම පැනල දුවල යන හැටි දැනෙන්ඩම කියන්නෙ. එහෙම කියල මිනිහම හිනා වෙනව  මහ හයියෙන්.

එදා මෑන් ගෙදර හිටියෙ නෑ. මම මාර සතුටක් වින්දා මේක අහල

මම ඉස්කෝලෙ යන්ඩ පටන් ගත්ත කාලෙ ආපේ අම්ම ශෝක් වැඩක් කළා. මතකද සුරතලා පත්තරේ….?
ඔය සුරතලා පත්තරේ ලස්සන සින්දු, කවි, කතා ලොකු රෝනියෝ කොළවල අලවල අම්ම මට ලොකූ පොත් දෙකක් හදල දීල තිබුණ. ඒ කාලෙ ඔය පොත් දෙක මට කොච්චර වටිනවද කියනවනම් ම නිදා ගන්නෙත් ඕක ලග තියාගෙන. අදටත් නිදාගන්න ඇදේ මට මොකක් හරි පොතක් කියෙනව.හැමදාම වගේ ඒකෙන් චුට්ටක් හරි කියවල තමයි නිදා ගන්නෙ. ඒ පුරුද්ද එන්න ඇත්තෙ ඔය සුරතලා පොතෙන් වෙන්න ඇති.

මට කියවන්ඩ පුලුවන්නෙ….ඉතින් ඔය සුරතලා පොතේ තියෙන දේවල් මහ හයියෙන් කියවන එක තමයි මගෙ වැඩේ. ඔය වෙලාවට‍ මලයත් එනව මගෙ ළගට.

ඇවිත් බලන් ඉන්නව අහගෙන ඉන්නව. මේ නිසා අකුරු කියවන්න බැරි වුණත් මිනිහට පොත්වල තියෙන සේරම කට පාඩම් වුණා….

පුංචි ලමයි ඔය ගෙදරට කවුරු හරි ආවා ‍මොකක් හරි උස්සගෙන ඇවිත් ශිල්ප දක්වන කාලයක් එන්නෙ… ඔය කාලෙ මල්ලි කරන්නෙ ගෙදරට කවුරු ආවත් ඔය පොත් දෙක උස්සගෙන ඇවිත් පිටුව පෙරලල ඒකෙ තියෙන දේවල්  ගිරව වගේ කියවගෙන කියවගෙන යන එක…

කට්ටිය මාර පුදුමවිල්ලක් පුදුම වෙන්නෙ මේ වයසෙ පොඩි එකෙක් මෙහෙම කියවන්නෙ කොහොමද කියල

“කිටියි ටොමියි ඔට්ටු තියල

අඹ ගහ යට පිනුම් ගහල

අඹ ගෙඩියක් ඇගට වැටිල

බලු පැටියගෙ වලිගෙ තැලිල

පූස් පැටිය ඒක දැකල

හිනා වෙලා බිම පෙරලිල

මිදුලේ මඩ ගොඩට වැටිල

ඇග පුරා ම මඩ ගෑවිල

මේ පිටුවෙ තිබුණ චිතෙ‍්‍ර හරීම ලස්සනයි

පූස් පැටිය මඩ ගාගෙන උඩුබැල්ලෙන් හැරිල මහ හයියෙන් හිනාවෙන හැටි පියල් උදය සමරවීර මාම හරිම ලස්සනට ඇදල තිබුණ. අවාසනාවට මගෙ පොත දැන් මගෙ ළග නෑ. නැත්නම් මම ඒක මේකෙ දානව.

“කුරුමිණි පැටියෙක් ගහකින් වැටිලා

පොඩි අත් තටුවක් හොදටම කැඩිලා

නැගිටින්නත් බෑ ඉදගන්නත් බෑ

කුරුමිණියා හරියට ඇඩුවා

මේක දැකපු එක කූඹි පැටියෙකුට

කුරුමිණියා ගැන දුක හිතිලා

අම්මයි අක්කයි නැන්දයි මාමයි

සේරම අඩ ගහගෙන ආවා

කූඹි ගුලේ ලොකු ඉස්පිරිතාලේ

ඕනැම බේතක් ඇති හින්දා

කූඹි පෙරහැරක් බෙහෙත් කරන්නට

කුරුමිණියා අරගෙන යනවා”

මේ කාලෙ වෙනකොට ම දන්නව මේ කතාවෙ කූඹි ටික කුරුමිණිය අරගෙන යන්නෙ බෙහෙත් කරන්ඩ නෙවෙයි කියල. ඒත් අර කෙසෙල් කොටුවෙ චූටි මහත්තය මුවන් පැලැස්සෙ කදිර කියන්නෙ බල්ලෙක් කියල හිතා ගෙන හිටියෙ.. ඒ වගේ මටත් සෑහෙන්න අමාරු වුණා අපේ මලයට ඔය ගෙනියන්නෙ බෙහෙත් කරන්න නෙවෙයි කියල ඒත්තු ගන්නන්ඩ….

අන්තිමට මිනිහ අඩන්න ගත්ත…

අක්ක බොරු කියන්නෙ…. කුරුමිණියට කූඹි බෙහෙත් දානවමයි කියල….

මට බිම පෙරලි පෙරලි හිනා….

අම්ම ඉතින් බොරුවට මට බැනල මල්ලිව පරක් කලා.

හවස හය වෙනකොට මලය එයාගෙ චූටි කොට්ටෙයි පොරවන රෙද්දයි උණ්ඩි කරගෙන අම්ම පිටි පස්සෙන් ඇවිදින්න පටන් ගන්නව

අම්මෙ…. යංකො නිදා ගන්න…. අනේ යංකො….

ඔන්න ඔය කාලෙ මල්ලිවයි මමයි බලා ගන්ඩකො කට්ටියම

මමයි මලයයි

පුංචි කාලෙ ඉදලම අපි දෙන්න ආසවෙන් බලන් ඉන්න දෙයක් තමයි නිවාඩුවට අම්මලගෙ ගමේ යන්න. අර බස් පහක යන ගමන. මම නම් ඉතිං මගදි ඔය හෝටලයක් කාරිය දාල පොඩ්ඩක් ගමන අල කරගත්තට අපි දෙන්නට ඔය යන ගමනෙදි කරන්න වැඩ ගොඩක් තියෙනව. රබර් වතු මැද්දෙ තියෙන ලොකු ගල්වලට අපි දෙන්න කියන්නෙ” අලියො” කියල. ඉතින් අපි දෙන්න අලියො ගණිනව. බස් එක කියල ගානෙ ගානක් නෑ මහ හයියෙන් සින්දු කියනව. ඔරුවෙ ගිහින් තේවත්ත මැද්දෙන් කන්ද නගින කෑල්ලට අපි දෙන්න හරි කැමතියි.අපි දෙන්න හදා ගත්ත ස්පොට්ස් තිබ්බ නගිනකොට අපිට මහන්සි නිවාගන්න. ඒව තාමත් කියෙනව… පස්සෙ දවසක ගමට යන කොට ඒ ගමන ගැන විස්තර කරද්දි දාන්නම්කො. ඉතිං පස්සෙ අපි දෙන්න හත අට වසර කාලෙ ගමේ යනකොට අලියො වෙනුවට පාරෙ ඉන්න බල්ලො ගණන් කරන්න පටන් ගත්ත. දෙන්නම ගිහින් ඩ්‍රයිවර් අංකල් ලගම සීට් එකේ ඉදගෙන තමයි මේක කරන්නෙ. කවුන්ට් එක මදි වුණාම ගෙවල්වල ඉඩම් ඇතුලෙ  ඉන්න බල්ලොත් ගැණල ඒත් මදි නම් බල්ලො ඉන්නව ඇති කියල හිතෙන ගෙවල් ගණින්න ගන්නව. මේක බස් එකේ එක මගියෙක් ඇරෙන්න අනිත් මගියොත්, ඩ්‍රයිවර් හා කොන්දොස්තර අංකලුත් සිනහ ගන්වන වැඩක්. අකමැති මගිය අපේ අම්ම බව කියන්ඩ ඕ‍නෙ නෑ නෙ…

පුංචි කාලෙ ඉදලම අපි දෙන්න හොර වැඩවලට නම් කියාපු ජෝඩුව….සීනි බෝතලේ, උම්බලකඩේ හොරා කෑමේ සිට අම්මගෙ මැහුම් කතුරෙන් කඩදාසි කැපීම දක්වා හොර වැඩ දෙන්නගෙ සහයෝගෙන් තමයි කෙරුණෙ…

දැනුත් දෙන්නම එකට නතර වෙලා ඉන්න නිසා  වැඩි වෙනසක් නෑ…

අදටත් අපේ මලය ඔය එයාගෙ අතිජාත අපාය සහාය මිත්තරයොත් එක්ක සෙටමෝල් එකක් එහෙම ද‍ාගෙන ඒ ගැන පොඩි “බො” යන්නක් දාල අම්මව ශේප් කරන පාට් එක දෙන්නෙ මට.

අපේ අම්මත් මලය හැරෙනකොට දන්නව… අපේ මලය‍ට හරියට යාලුවන්ගෙ ගෙපල කැපිලි, දාන මාන, මගුල් තුලා එහෙම යෙදෙනකොට

චූටි පුතා මල්ලි අද එන්නෙ නෑ කිව්වද?

ඔව් ඔය එහෙම කිවුවෙ… කාගෙද දානයක් කියල…

අම්ම දන්නව මගෙනුත් ඇත්ත වචනෙ නෙවෙයි පිට වෙන්නෙ කියල… හැබැයි මට බනින්නෙ නෑ.

මම කැම්පස් ඉන්න කාලෙ එයා HNDE නෙ හිටියෙ. ඉතින් නිවාඩුවට දෙන්නම ගෙදර ආවම අම්ම හරි කැමතියි. හැබැයි දවස් දෙකක් යනකොට අම්මට එපා වෙනව…. අම්ම ටීවී බලන්න අපිට ඇදක් දාල දීල තියෙන්නෙ… දෙන්න ගෙදර ඉන්නවනම් වැඩි පුරම ඉන්නෙ ඔය ඇද උඩනෙ…. දෙන්නටම එක පැත්තට ඉන්න ඇද පළල නෑ නෙ… ඉතින් ඒකෙ ඉන්න ඔනෙ දෙපැත්තට… දෙන්නම ඇදේ හොද පැත්ත අල්ල ගන්න මාරාන්තික සටනක යෙදෙනව. සටනින් පැරදිලා නරක පැත්තට යන්න වෙන කෙනා ( වැඩි හරියක් මම) අනිත් පැත්තට ඉන්න කෙනාට පයින් ඇනීමෙන් තමයි සට‍ෙන්උද්වේගකරම අවස්ථාවට ප්‍රවේශය ලබා ගන්නෙ. ඊට පස්සෙ කොට්ට හා පොරවන රෙදි වැනි ආයුධ දක්වා සටන ව්‍යාප්ත වෙනව. ඔන්න ඔය වෙලාවට තමයි අපේ අම්මගෙ ඇගේ මාලු ගගේ නටන්න පටන් ගන්නෙ.

මොන කරදරයක්ද යකුනේ මේ… දෙන්නම එක සැරේ ගෙදර එන්ඩ එපා ඊලග පාර නම්… කණක් ඇහිල ඉන්ඩත් නැති කරල මගෙ කොට්ට ටිකත් පලන්ඩ ද ලෑස්තිය…..?

ඔන්න මට තව කතාවක් මතක් වෙනව

මම පුංචි කාලෙ අපේ මාම (අම්මගෙ මල්ලි) ගෙනත් දුන්න චොපර් බයිසිකලයක්. ඒක මමත් පැදල ඊට පස්සෙ මලයත් පැදල, අපි දෙන්නමත් පැද්දත් කිසිම කෙදිරියක් නැතිව තිබුණ. දැන් නම් ඒක අපේ ගෙදර නෑ. තාත්ත කාට හරි දුන්න වගේ මතකයි. ඒ කාලෙ අපේ ගෙදර පිටිපස්සට හදල තිබුණෙ නෑ ඉතින් පිටිපස්සෙත් ලොකු මිදුලක් තිබුණා. බයිසිකලේ රාං රූං ගාල යන එක තමයි දෙන්නගෙම වැ‍ෙඩ්… ඒදවස්වල අපේ ගෙදර හිටිය නාකි පූසෙක්. අපි දෙන්න එයාට නම තියල තිබුණෙ මහප්ප කියල. ආ…. අපිට පුදුම පූසො ගොඩක් නෙ හිටයෙ එයාලගෙ නම් තිබ්බෙත් අපි දෙන්නමයි… ඔන්න එහෙනම් බලන්නකො බිලාල නාමාවලිය (මේ සේරමල නෙවෙයි)

ප්‍රොක්ටර් ඇන්ඩ් ගැම්බල් ( දෙන්නෙක්, අපි දෙන්නට කියල ඉස්ඉස්සෙල්ලම ගෙනත් දුන්න පූසො ජෝඩුව)

බතික් බැළලි ( පාට පාට පූසියෙකි. කබී කබී ගේ මෑණියන්ය )

කොළඹ නෝනා – කොළඹින් ගෙනාවෙ. හරිම ආඩම්බරයි. තමන්ගේ දරුවන් පමණක් දරුවන් යැයි සිතා සිටියා ය)

කබී කබී – ( ඇස්වලින් නිතර කබ ගලන නමුත් හරිම කරුණාවන්ත මවකි. කොළඹ නෝනාගෙ දරුවන්ටත් කිරි දුන්නාය)

මහප්පා – ( ආවේ කොහෙන්ද..?  කාගේ කවුද…? කියා නොදන්න නමුත් ඉතාම අහිංසක වැඩිහිටි බළලෙකි. අපි දෙන්නා මොනව කළත් “අනේ පොඩි එවුන්නෙ” යැයි සිතා වාගේ අපිව සූරා පැන දුවන්නට හො සපා කන්නට උනන්දු නොවූ අපේ සෙල්ලම් සගයාය. දැන් කියන්නට යන චොපර් බයියිසිකලේ කතාවට සම්බන්ධ ය)

එමු එමූ – (එදා මෙදා තුර අපට සිටි හොදම පූසා ය. සිංහල බැරි වුණත් හැගීම් ප්‍රකාශ කිරීමේ මනා හැකියාවෙන් යුක්තව සිටි අපේ ආදරණීය පූසා ය. කපටි සමනලයෙකු පිටුපස හඹා ගෙන වැරදීමකින් පාරට යාමෙන් රිය අනතුරකට ලක් වී අකාලයේ ජීවිතය අහිමි විය.)

පොඩ්ඩා – ( ගෙදර ‍හොදම ළමයා වෙන්නට උත්සාහ දැරූ බැවින් මල්ලිටත් මටත් පෙන්නන්ඩ බැරි වුණු,  හිමිකාරීත්වය අම්ම විසින් දරණ ලද පූසාය. අපෙන් වඩාත්කරදර සිදු වුණේ මෙයාටය)

හොදයා සහ නරකයා –  (ක්ලෝණකරණයෙන් බිහි වූ පිටපත් දෙකක් ව‍ෙගයි රූපෙ නම්. ඒත් වැඩ නම් අහස හා පොළව වාගේය. ගෙදරින් පලා ගොස් රාත්‍රී වේල සප්පායමට පමණක් ගෙදර ආ, ඉන්නකල් කරන තරමක් නරක වැඩ කළ නරකයාද අකාලයේ රිය අනතුරකින් මිය ගිය අතර ඊලග සතියේ සිට හොදයා නරකයාගේ චරිතයම රගපෑමට පටන් ගති. අදටත් ජීවතුන් අතර සිටින නමට පමණක් හොදයා වන මෙයා අපේ රොවා නැමැති බල්ලාගේ අතිජාත මිතුරාය. කැලේ පනිමින් සිටින මෙයා මිතුරාගේ පිනෙන් ආහාර සපයා ගනියි.)

ටිනී ඇන්ඩ් බිනී –  ( මෑත කාලයේ අපේ ගෙදරට ආව දෙන්නෙකි. මූණු පොතේ සිය මුහුණු ප්‍රදර්ශනය කිරීමට වරම් ලැබුණු දෙදෙනාය. රොවා සමග සෙල්ලම් කිරීමට ගොස් දර මැස්සේ තිබූ පරාලයක් ඇගට වැටුණු ටිනි රෝගාතුරව බාල වයසේදීම මිය ගිය අතර බිනී නම් වූ කට්ට කයිරාටික වෙට්ට පිත්තල බළලා තවමත් අම්මාගෙන් ගුටි පූජා ලබමින්  සිටියි.)

ඉතිං කියන්නට ආ‍වෙ වෙන කතාවක් නෙ.

ඔන්න ඉතිං අපි දෙන්න… වෙනද වගේ බයිසිකලේ නැගල රාං රූං ගාල යන බව තේරුණාම මහප්ප ආව මිදුලට. ඇවිත් අපි දෙන්න යන පාරට පනිනව.. ආයෙත් ආපහු දුවනව.. අපි දෙන්න වෙට්ටු දදා යනව… මල්ලි කටින් සද්දත් දානව…

ඇම් ඇම්……… ඇම්…… පීක්…. පීක්…..

ඔන්න ඔ‍හොම එක වෙලාවක අපි දෙන්න මහප්පට වෙට්ටුවක් දැම්ම විතරයි මහප්ප පැන්න ආපහු බයිසිකලේ ඉස්සරහටම

බ්‍රේක් බ්‍රේක්…..!!!

මලය බ්‍රේක් කරන‍කොට අපි දෙන්නත් එක්ක බයිසිකලේ මහප්පගෙ ඇග උඩින් ගිහින් ඉවරයි. බ්‍රේක් පාරෙ සැරට අපි දෙන්න නැවතුනේ ගොඩ කරල හදල තිබුණ පිදිපස්සෙ මිදුල කෙළවරේ පල්ලමේ තියන බූසි ඇපල් ගහෙත් හැප්පිලා දෙන්නම එක්ක පල්ලමට පත බෑවිලයි….

දෙන්නම නැගිටල බැලුව දෙන්නව චෙක් කරල අත පය කැඩිල නෑ යන්තම්. (මොනව හරි වෙලා තිබුණ නම් දෙන්නම තමයි ගුටි කන්නෙ) සීරිලා පොඩි පොඩි තුවාල විතරයි දෙන්නටම.

අඩේ…..මහප්පා….!!!

දෙන්නටම මතක් වුණා. අමාරුව පැත්තක තියල දෙන්නම දිව්ව මහප්පව බලන්න.

යනකොට මෙයා ඉන්නව හිටපු තැනම නැගිටල. ඉහෙන් බහින අමාරුවක් නැතිව යස අගේට අපි දෙන්න එනකල්.

මල්ලිගෙ නළල වැදිල ගෙඩි ගැහිල අම්ම එහෙම වුණාම වෙනදට බටර් ගාන නිසා එයා බටර් ටිකක් අරගෙන ගාගත්ත මම දැක්ක. මමත් තුවාලවලට ප්ලාස්ටර් දාගත්තද කොහෙද…

ටිකකින් මහප්ප ගෙට ආව… මහප්පගෙ පිට දිගේ අමුතුවට තෙමිල තෙමිල වගේ පේන නිසා මම ටිකක් උනන්දුවෙන් බැලුව…. මොනව හරි ගෑවිලා තමයි…

මල්ලී ඔයා මොනව හරි මහප්පට කළාද ආයෙත් ….?

මම ඇහුවා.

ආ…. මම මගෙ නළලෙ ගාගන්න ගමන් මහප්පගෙ පිටෙත් බටර් ගෑව.. පවුනෙ අක්කෙ උගෙත් කොන්ද රිදෙනෙව ඇතිනෙ….

කොහොමද අපේ මල්ලිගෙ ටිකිරි මොළේ….!!

මේ ඉන්නෙ ඩබල ….

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි. Bookmark the permalink.

22 Responses to අපේ මලයයි මායි

  1. Chanaka Aruna munasinghe පවසයි:

    ශෝයි අක්කයි මල්ලියි. අනේ අර පූස්ලගෙ ෆොටෝ ටිකකුත් දාන්නකො මෙ වගේ කතන්දරයක් එක්ක

  2. කාංචන පවසයි:

    මේක නම් මාරයි. එක හුස්මට කියවගෙන ගියා. post එක ගොඩක් දිගයි කියල දැක්කෙ පස්සේ.. ඔය මල්ලියටද හරාකිරි කරගන්න කියන්න හදන්නේ.. මරු අක්කා.
    කෝ අර උමතු ආදරේ?? ඒක වාෂ්ප වෙලාදැ? :-/

  3. කාංචන පවසයි:

    සොරි වෙන්න ඕන. උමතු ආදරේ තියනවනේ.. මගේ reader එකේ අවුලක් වෙලා.

  4. ලස්සනට කතා කියන්න දන්නව

    පේන විදිහටනම් අක්කෙක් වගේ

    දිගටම ලියන්න.

  5. R4ng4 පවසයි:

    සුරතලා පත්තරේ කිවුවම මට මතක් උනේ මම පොඩි කාලෙ කට පාඩම් වෙලා තිබුන ඒකෙ සින්දුවක්

    ඩැනි මාමා හොඳ හොවියා
    ගොවිතැන් කරගෙන හිටියා
    ඩ්‍රයිවර් කම ඉගෙන ගන්න
    ගමේ නොසිට කොළඹ ගියා

    අවුරුදු දෙකේ විතර කාලෙ එක්ස්ප්‍රස් කෝච්චියක් වගෙ මම ඕක කියනවලු

    • මේ කවිය යාන්තම් මතකෙ තියෙනව වගේ.
      ඇයි මේ කවියත් මට මතකයි.
      මේකට ඇඳල තිබුණ චිත්‍රෙත් හරිම ලස්සනයි.
      පුංචි පිරිමි ළමයෙක් නපුරු මූණක් හදාගෙන කෝටුවක් අරගෙන මේසයක් ලඟ හිටගෙන ඉන්නව.මේස කකුලක සුදු පාට පූස් පැටියෙක් ව ගැට‍ ගහල.
      අනේ උගෙ මූණ හරීම දුක්බරයි.
      උගේ පැත්තකින් දිග ඇරපු නූල් බෝලෙකුත් තියෙනව.
      උඩුබැල්ලෙන් හැරවිච්ච කුරුමිණියෙකුයි ඉන්නව.

      නූල් බෝලෙ දිග හැරලා
      එළියට අරගෙන දුවලා
      කුරුමිණි පැටියෙක් මරලා
      වැරදි ගොඩක් අද කරලා

      හැමදාමත් බෑ ඕවා
      කෝටුව පෙන්නා කීවා
      හොඳටම සැර වැර කරලා
      දොර මුල්ලේ ගැට ගැහුවා

      අනේ ඊට පස්සෙ කවිය නම් මට මතක නෑ.
      සමහර විට මල්ලිට මතක ඇති.
      ඒකෙ තියෙන්නෙ
      අම්මා ඇවිත් මේ ළමයට සැර කරල
      පූස් පැටිය බේරගන්න හැටි.

  6. jhothisha lanka පවසයි:

    මටත් ඉන්නවා අක්කා කෙනෙක් අපි දෙන්නගෙත් වයස් පරතරය ඔයාලගේ වගේ අවුරුදු එකහමාරක් විතර ඇති.ඒහින්දා පොඩි කාලේ අපි දෙන්නත් හැදුනේ එකටම තමයි.ඔයාගේ බ්ලොග් එක කියවනකොට මටත් අපි දෙන්න පොඩි කාලේ ගත කරපු හැටි චිත්‍රපටියක් වගේ එකින් එක මැවිලා පෙනුනා.ඔයා බ්ලොග් එකේ විස්තරය ලස්සනට විවෘතව ලියලා තියෙනවා.දිගටම ලියන්න.අපේ අක්කා සුදුයි.හැඩයි.ඒ හින්දමද කොහේද ඉස්සර අක්කා පන්ති යනකොට පවා ගෙදරින් මාවත් තනියට යවනවා.මමත් ඉතින් කාන්දම වගේ අක්කා ලගින් නිතරම ඉන්නවා.පිරිමි ළමයිට අක්කත් එක්ක බස් එකකදී පවා කතා කරන්න මම ඉඩ දෙන්නේ නැහැ.දවසක් එක කොල්ලෙක් මට චොක්ලට් වගයකුයි තව මොනවද කන ජාති වගයකුයි දීල අක්කට දෙන්නෙයි කියලා ලියුමක් මගේ අතට දුන්නා.මම එතකොට 9 වසර වගේ.මම අර චොක්ලට් ටික ඔක්කොම කාලා ලියුම දුන්නා අපේ අයියා අතට අයියා එතකොට ඒලෙවල් කරනවා.අපේ අයියා සොයන්නේ බලන්නේ නැතිව යාළුවො කට්ටියක් එක්ක ගිහින් අර කොල්ලටත් ගහල අක්කටත් ගෙදර ඇවිත් හොදටම ගැහුවා.තාත්තා අක්කට හරි ආදරෙයි.අක්කා අතේ වරදක් නැති බව තාත්තට තේරිල තාත්තා තමයි අක්කව බේරුවේ.මොනා වුනත් එදා අයියා අක්කට හරි දරුනු විදියට ගැහුවා.මම කරපු වැඩේ නිසා අක්කා ගුටි කාපු එකට මම හරියට දුක්වුනා.ඒත් අක්කා මගෙත් එක්ක තරහ වුනේ නැහැ.මට තවමත් හිතෙන්නේ අක්කා මට ආදරේ කරපු තරම් මම අක්කට ආදරේ කලේ නැහැයි කියලා.මම දැකපු හැම අක්කා මල්ලි කෙනෙක්ම ඒ වගේ තමයි.මේ වගේ ලිපි විකාර කියලා කියන්නේ අක්කලා නැති අය හා මල්ලිලා නැති අය තමයි.කොහොමත් බ්ලොග් එකක් කියන්නේ තමන්ගේ විස්තර සටහන් කරන දිනපොතක් වගේ තමයි.හැබැයි ඕනවට වඩා පෞද්ගලික විස්තර දාන්න එපා.

    • බො‍හොම ස්තූතියි ප‍්‍රතිචාරයට හා අවවාදයට. මේ අවවාදය මා පිළිපැදිය යුතුයි කියල හිතෙන්නෙ මට හිතවත් ඔබ හා තවත් කිහිපදෙනෙක්ම බ්ලොග් සටහන හරහා පමණක් නොව පෞද්ගලිකවත් මේ දේම පවසා ඇති නිසා. ඒ හැරුණු කොට මේ මතකයන් ඉතාම සුන්දර බව හා අදටත් මතක් කලාම අහිංසක සතුටක් හිතට දැනෙන ඒවා බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ. මා වැනි ම අක්කෙක් හිටිය නම් ඔබටත්.
      මම මේක දින පොතක් වගේම නම් ලියන්න හිතුවෙ නෑ. විටින් විට මගේ හිතට එන දේවල් මේකෙ ලියවේවි!

  7. අනුරාධ පවසයි:

    හිත ආපහු පුංචි කාලෙට අරන් ගියපු හ‍රි ලස්සන ලියවිල්ලක්……

  8. සනත් පවසයි:

    ඔන්න ඔයාගෙ තෑග්ග කියෙව්ව. අපූරු තෑග්ග!
    මම අයියෙක් නෙව, අක්කියෙක් හිටියනම්………………..(මට ඉරිසියාවෙ බෑ.)

    අපේ ගෙදරත් හිටිය එලම එල බලල් තඩියෙක්, ඌ පොඩිකාලෙ නම් කිටිය පස්සෙ නිකම්ම නිකන් පූස.
    මේකා කෑ ගහන්නෙ හරි සද්දෙට හරියට අත දරුවෙක් අඬනව වගේ………..

    දවසක් අම්ම මම නංගි අපි කට්ටියම “කොමඩු” දන්නවනෙ පැණි කොමඩු කෑව. කෑවෙත් මිදුලෙ ඉදගෙන.
    මේ වෙලාවෙත් අපේ පූස් තඩිය බෙරිහන් දෙනව ගේ ඇතුලෙ……..
    අපි කට්ටිය එලියෙ ඉන්නව දැකලම ඔන්න එනව අපි දන්න කියන ගෑණු කෙනෙක්………

    හා කොහොමද අක්කේ, අපි මේ කොමඩු කනව……අපෙ අම්ම කතාවට මුල පිරුව.
    හහ් ඒක හොඳයි නංගියෙ……… මේ කාලෙට ඔයවගේ කෑම කන්න ඕන ලේ වැඩෙන්න……..
    ( තේරුනා නේද? අපේ පූසා කෑ ගහන්නෙ අත දරුවෙක් වගෙ.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )