තාත්තා…..!

කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු ඒකකය ඉදිරිපිටදි මම වෑන් එකෙන් බැස්ස. හරියට හීනෙන් වගේ. වෙලාවක් හරියට නිච්චි  නෑ. මං හිතන්නෙ රෑ දහය හමාරට විතර ඇති.

අපේ ලෙඩෙක් ඇතුලෙ ඉන්නව ගොඩක් අමාරුයි. මේ එයාගෙ නෝනා. …..

බලන්ඩ ඕනෙ…….  අපිට යන්ඩ දෙන්ඩ….

එහෙම යන්ඩ දෙන්ඩ බෑනෙ…. බලන්ඩ දැන් වෙලාව කීයද? ලෙඩ්ඩු බලන වෙලාවක් නෙවෙයිනෙ…. පාන්දර හයට බලන්ඩ…..

අපිත් එක්ක ආපු නිමල් මාමයි, උදය අයියයි කඩිමුඩියෙ රෝහල් ආරක්ෂකයන්ට විනාඩි දහයක් විතර පින්සෙණ්ඩු වෙලා අම්මව එක්කරගෙන බොහොම අමාරුවෙන් ඇතුලට ගියා.

හදිසි අනතුරු ඒකකය ඉදිරියෙ හිටගෙන හිස් බැල්මෙන් අම්මා යන දිහාව බලන් හිටි මමයි මල්ලියි දෙන්නම දිග හුස්මක් හෙලුවා.

මම හිස් වෙලා තිබුණු  සීතල සිමෙන්ති බංකුවක ඉඳ ගත්තා.

මේ ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක්ද……?  උදේ කිරිබත් කාල කලින් ගෙදර එනව කියල  වැඩට පිටත් වෙලා ගිය තාත්තමද ඇත්තටම මේ අපි බලන්න ආවෙ….. ?

ගෙදර ට පොලීසියෙන් කතා කළා හවස හතට විතර

තිලකරත්න මහත්තයට පොඩි අනතුරක් වෙලා. කකුල තමයි ටිකක් තුවාල වෙලා තියෙන්නෙ. මිනුවන්ගොඩ ඉස්පිරිතාලෙ ඉන්නෙ. දැන් ගම්පහට ට්‍රාන්සර් කරන්නයි හදන්නෙ.

අම්මට කතා කරපු විනීත පොලිස් නිලධාරියෙක් කියල තිබුණ

ඉතින් ඇයි ගම්පහට යවන්නෙ….?

අද ජනවාරි පළවෙනිද නෙ මිස්. ඩොක්ටර්ස්ලත් අඩුයි නෙ. ඒකයි. කලබල වෙන්න එපා.

දැන් මේ රෑ වෙලා බලන්න යන්නෙවත් කොහොමද චූටි පුතේ. මොකද අපි කරන්නෙ….? අම්ම මගෙන් ඇහුව

අපි නිමල් මාමට කියමු මිනුවන්‍ගොඩ හොස්පිට්ල් එකට කතා කරල බලන්න කියල. ඒ අතරෙ සරත් මාමට තාත්තව බලන්න යන්න කියමු

ටික වෙලාවකින් නිමල් මාම ආවෙ නැන්දයි උදය අයියයි තව වෑන් එකකුත් අර‍ගෙනයි.

අපි ගිහින් තාත්තව බලලම එමු නේද දුවේ….? නිමල් මාම මගෙන් ඇහුව

මට මොකක්දෝ අමුත්තක් දැණුනෙ එතකොටයි.

තාත්තට මොනව හරි ලොකු කරදරයක් ද මාමෙ…..?  කියන්න කො අනේ

මම කිව්වාම නිමල් මාමගෙ නැන්දට හීල්ලුනා.

නිමල් මාම වචනයක්වත් නොකියා එතනින් ඈත් වුණා

තාත්තට ටිකක් අමාරුයි දුවේ. නිමල් මාම කතා කරල බැලුව.

අම්මට මේ ගැන කියන්න එපා නැන්දෙ

අපි අම්මව කොහොම හරි දැන්මම එක්කගෙන යන්න බලමු

තාත්තට කරදරයක් නම් වෙන්ඩ එපා…………!

මම පයින් ඇවිදගෙන යනව. නුපුරුදු පාරක් නේද මේ….!  මං සැකෙන් වටපිට බැලුව…. දෙවියනේ මම ඉන්නෙ අතරමං වෙලා නේද? මේ කොහෙද?

වටපිට බලන කොට කවුදෝ මිනිස්සු දෙන්නෙක් මගේ  පිටිපස්සෙ ඉන්නව දත් විලිස්සගෙන. මට දුවන්න වෙලාවක් තිබුණෙ නෑ. එකෙක් මාව අල්ලගත්ත. කෑ ගහන්නවත් වෙලාවක් නෑ  අනිකා මගෙ ඔලුවට ගෝනියක් දැම්ම.

අක්කෙ අක්කෙ නැගිටින්න…. අම්ම එනව

මට ගැස්සිලා ඇහරු‍ෙණ් මල්ලි මාව හොළවලා කතා කරනකොට. බංකුවෙ ඉඳගෙනම මට විකාර හීන පෙනි පෙනී නින්ද ගිහින් තිබුණා.

අම්ම  අපි ළගට ආවත් මොනවත්ම කිවුවෙ නෑ. අපි දෙන්න ඇහවෙත් නෑ. අපි දෙන්නවත් ඇතුලට අරන් ඇවිත් තාත්තව පෙන්නන්න කියල දොස්තරල කියල තිබුණා.

හිසේ පිටුපස බලවත් තුවාල ඇතිව ශල්‍යාගාරයේ ඇඳක යන්ත්‍ර ගොඩකට සම්බන්ධ කරල හිටපු තාත්තව දැකපු ඒ තත්පර කිහිපයට පස්සේ ම‍ට දැණුනෙ හරිම ශූන්‍ය හැගීමක්.

මාමා අපිව එයාගෙ  ගෙදර එක්කරගෙන ගියා. අපි ඔහේ ගියා….

තාත්තෙ…… තාත්තෙ… අනේ කතන්දරයක් කියන්නකො.

මල්ල්යි මමයි තාත්තයි තුන්දෙනාම ඇඳක ගුලි වෙනව.

තාත්ත කතාව පටන්ගන්නව…..

ඔන්න එකෝමත් එක රටක හිටියලු ජගත්චන්ද්‍රයි, සූටියයි කියල දෙන්නෙක්.

හ්ම්…….

මේ දෙන්නට තිබුණලු ඔටෝ ටැක්සියක්.

හ්ම්………

අපි දෙන්න හූමිටි තිය තියා අහගෙන ඉන්නව.

අනේ තාත්තෙ ඇති කතන්දර කිව්ව අපි දඹදෙනි ගලේ සෙල්ලම කරමු දැන්….

ඔන්න තාත්ත දඹදෙනි ගල බවට පත් වෙලා ඇ‍‍දේ නිදාගෙන ඉන්න මල්ලිගෙයි මගෙයි ඇගට උඩින් අපිව ය‍ට කරගෙන ගිහින් අනිත්  අනිත් පැත්තට පෙරලෙන්නෙ මෙහෙම කියාගෙන.

දඹදෙනි ගල පෙරලාගෙන එන්නේයා……!

ඊට පස්සෙ අපි දෙන්න තාත්තව බිස්කට් ෆැක්ට්රියක් කරගන්නව.

හැබැයි මේ බිස්කට් ෆැක්ට්රිය බිස්කට් හදන්නෙ නෑ

අම්ම අපිට හවසට කන්න ගෙනත් තියනෙ චූටි ජෙම් බිස්කට් ටික කාල දානව.

අපි දෙන්න බිස්කට් ටින් එකත් අරන් ගිහින් නිදාගෙන ඉන්න තාත්තගෙ කටට එක ගානෙ ද‍ානව

තාත්ත එකක් කාල ඊට පස්සෙ කට අරිනව

අපි දෙන්නම එකතු වෙලා තාත්තට ජෙම් බිස්කට් කවනව.

අම්ම කෑ ගහනව වෙලාවකට තාත්තට

පොඩි එවුන් රවට්ටලා සේරම බිස්කට් ටික කනව කියල

පුංචි කාලෙ විතරක් නෙවෙයි මම සෑහෙන්න ලොකු කාලෙත් තාත්තගෙ සරං ඔඩොක්කුවෙ ඉඳ ගන්නවනෙ.

තාත්ත මාව ඔඩොක්කුවෙ ඉන්දවගෙන ඔරු පද්දවනව

ඔරු පදිනේයා…….. පරු ඔදිනේයා…….

මම කෑගහනව ඔඩොක්කුවෙ ඉදගෙන

මම හිතන්නෙ මම තාත්තගෙ සරම් කීපයක්ම පැලුව මේ ඔඩොක්කු සෙල්ලමට ගිහින්.

කල්පනා කර කරම ඒ රැය ගෙවුනා.   පහුවදා උදේ අපි තාත්තව බලන්න ගියා. අම්මගෙ හිතේ තිබුණෙ රෝද පුටුවක හරි ඉන්න තාත්තව සනීප කරගෙනන ගෙදර එක්කරගෙන යන්න.

අපි යනකොටත් තාත්ත අපිව දාල යන්න ගිහින්………!

අනේ වචනයක් කතා කරන්න තිබුණ නම්…..!

තාත්ත හරිම අපූරු මනුස්සයෙක්. එයාගෙ වැඩ ගැන පස්සෙ ලියන්නම්

මට දුක මල්ලිටයි මටයි කාරණා තේරෙන වයසට එනකොට තාත්ත මේ ලෝකය හැර ගිහින් නෙ. ඒ ගැනයි. (තාත්ත නැති වෙලා අවුරුදු නවයක් ගත වෙලත් තාමත් මට දැනෙන්නෙ අද ඊයෙ වගේ )

මට මතක් වෙන්නෙ තාත්ත වැඩ ඇරිල ගෙදර එනකල් අපි පාර බලන් හිටපු හැටි.

සමහරවිට අද තාත්ත හිටියනම් මේ වෙනකොට විශ්‍රාම ගිහින් නෙ. එතකොට

කෝ …. මේ කෙල්ලයි කොල්ලයි තාම ගෙදර ආවෙ නැත්තෙ මොකද?

කිය කියා පාර බලන් ඉඳියි මල්ලියි මමයි එනකල්

කියල මට හිතෙනව

කාලය ඉගිල්ලෙනව

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි. Bookmark the permalink.

10 Responses to තාත්තා…..!

  1. සිතුමිණි says:

    සංවේදී වියමනක්……අපූරුයි….ඔබේ සුගම වදන් හැසිරවීම බාධාවකින් තොරව කියවන්නා හැඟීම දක්වා අරගෙන යනවා…ලියන්නට තෝරා ගනිද්දී සමාජ දේශපාලනික යටි පෙළ අරුත් ගම්‍ය කරවන අනුභූතීන් තෝරා ගන්නට කෙමෙන් උත්සුක වෙන මෙන් ඉල්ලනවා..එවිට ඔබේ ලේඛණ කලාව වඩා උසස් තැනකට ගෙන යා හැකි වේවි…….දිරි….!!!!!

  2. කාංචන says:

    මේක සත්‍ය අත්දැකීම කියල හිතෙනවා. කොච්චර වුනත් අම්ම තාත්ත නැති අඩුව පුරවන්න වෙන කාටවත් බෑ.
    ඔයාගේ ලිපිවල කියෙව්වම පපුව කඩාගෙන ඇතුලට බහින ගතියක් තියෙනවා. උමතු ආදරේ එහෙම හරි අපූරුවට ලියල තියනවා. ලස්සනට ගලාගෙන යන්න ලියන එක එහෙම, ඒක ඔයාගෙ දක්‍ෂකම. සාර්ථක blog එකක් ලියවෙන්න පටන් අරගෙන තියනවා කියල තේරෙනවා. සුබ පැතුම්.
    -කාංචන

  3. ලස්සනයි.. මට අපේ තාත්තව මතක් උනා..

  4. hansakinkini says:

    සිතුමිණි අයියා, කාංචන හා කණිෂ්ක ට බෙහෙවින් තුති…..තව තවත් ලියන්නට මා දිරිමත් කරවන ඔබේ වදන්වලට.

  5. xXx says:

    දුකයි
    මට අපේ තාත්තව මතක් උනා

    • hansakinkini says:

      දහසක් එරෙහිව නැගුණත් නොබියව
      තැවුල් දරා ලන මහිම කියා දී
      ඒ කරලියෙ අද මා රඟනා විට
      එදෙස බලන්නට ඔබ මේ ලොව නැත

  6. Carl says:

    ඔහු අද
    හැබැහින් නොදැක්කත්
    කොහේ හරි ඉඳන් බලා ඉන්නව.

    කලින් අහල තියෙනව.
    ඒත් මෙතනදි ඒක ඇත්තටම දැනෙනව.

  7. ජනූ අක්කේ මේක ඇත්තම කතාවක්ද? ඔයාගේ බ්ලොග් එක දැක්කම මට එකපාරටම මතක් වුණේ ටයි මාමාගේ කතන්දර. (මං හිතන්නේ පොඩි කාලේයි ටයිමාමයි එක්කෙනෙක් වගේ.) මේ කතාව හරිම දුක හිතෙන කතාවක්. මම මේ වගේ අත්දැකීමක අද්දරටම ගිය කෙනෙක්. අපෙ තාත්තාව රෝහල්ගත කරලා ශල්‍යකර්මයකට ලක්කරපු දවසේ අපේ නැන්දා හදිස්සියෙන් ඇවිත් මාවයි නංගිවයි පාසැල් වෑන් එකෙන් බස්සගත්ත වෙලාවේ මට දැනුණේ මුළු ලෝකෙම හෙල්ලුනා වගේ.ඒ කම්පනය නිසා අදටත් කාගේ හරි තාත්තා කෙනෙක් නැතිවුණා කිව්වොත් මට ඒ කම්පනයම දැනෙනවා. තාත්තාට මොනවාහරි වුණානම් නැන්දා ඒ විදියට හොඳ සිහියෙන් එතනට එයිද කියලවත් මට හිතුනේ නෑ.ඔයාගේ බ්ලොග් එක හරි ලස්සනයි. ඒ වගේම තමයි ඔයාගේ අදහස් වලට මම කැමතියි. ආයෙම දවසක එන්නම්!

    • බොහොම ස්තූතියි ලකී. මෙය මගේ තාත්තගෙ වියෝ වීම ගැන සත්‍යම කතාව.
      මට දැනෙන විදියට දරුවෙක්ට ලෝකෙ ලොකුම දුක තමයි තම මවුපිය වියෝගය. ඉඩක් ලද විගස ඒ ගැන වෙනම ලියන්නම්. ඔබගේ අදහස්වලට බොහෝ තුති….

  8. mekuwi says:

    මන් ඔයාගේ ලිපි මුල ඉඳන් කියවන්න ගත්ත..මේක මගේ ඇස දෙකටත් කඳුළු ගේනවා..මම පව්ලේ එකම දරුවා.. අම්මඊ තත්තඊ තමා මුළු ලෝකෙම උනේ.. හරියටම 2000 අවුරුද්දේ දෙසැම්බර් 20 මාව පන්ති ගිහින් දාල ඊට පස්සේ නුවර මලගේක ගිය ..එත් ආඊ ආවේ න..මගේ තාත්තත් ඔය විදියටම accident එකකින් නුවර හොස්පිටල් එකේ දවස් 9ක් ඉඳල දෙසැම්බර් 29 අපෙන් සමුගත්ත..තාම එක දරාගන්න amaarui ..හිතේ කොනක එක හිරකරගෙන ජීවිතේට මූන දෙනවා..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s