උමතු ආදරේ…….!

ඊයෙ රෑ අපි තවත් මගුලකට ගියා නෙ. මෙයාට නං මගුල් කතාමයි තියෙන්නෙ නේද? ඉතින් මේ ලියන්න යන්නෙ ඒ මගුල් ගෙදර විස්තරයක් නෙවෙයි. ඒත් මා දුටු අපූරු විවාහ ජීවිතයක් ගැන ඊයෙ දවසෙ මගුල් ගෙදරින් පිටත්වෙලා එන ගමන් අපි ට කතා කරන්න තිබුණා.

(දැන් ඉතින් මට බ්ලොග් උණ නෙ. ඉතිං මොන කතන්දරේ ඇහුණත් ශා…….. ඒක බ්ලොග් එකේ දාන්න නම් නියමයි කියල තමයි හිතෙන්නෙ. )

ඉතින් ඔන්න ‍ ඒ කතාවත් පටන් ගන්නව එහෙනම්.

අපේ ඉස්කෝලෙ, එ කියන්නෙ මමයි මල්ලියි දෙන්නම කාලයක් ඉගෙනගත්තු. ඒ වග්ම අම්ම උගන්වපු ඉස්කෝලෙ හිටිය ගුරුතුමියක්. අපේ අම්මගෙ හොඳ මිතුරියක්. මේ ගුරුතුමීගෙ වල්ලභයත්  යාබද පාසලක ගුරුවරයෙක් විදියට සේවය කළා. අපේ අම්ම විතරක් නෙවෙයි ඉස්කෝලෙ හිටිය අපේ අම්මගෙ ගුරු මිතුරියන් කැළ ම මේ ගුරුතුමීගෙ වල්ලභයව හොඳින් දන්නව. සෝමෙ අයිය කියල අමතන්න තරම් ලෙංගතුයි.  දැනගන්න කැමති ඇති නේද මේ දෙන්නගෙ විශේෂත්වය?

ලොකු මහත් වෙලා දීග තලග ගිය දරුවො තුන් හතර දෙනෙක් ඉන්න මේ දෙන්න හරියට ඉඳිකට්ටයි නූලයි වගේ කොයි වෙලෙත් එකටමයි. මම හිතන්නෙ දෙන්න වෙන් වෙලා හිටියනම් හිටියෙ පාසල් පවත්වන කාලසීමාවෙදි විතරයි වෙන්න ඇති.  ඒ හැර මගුලක්, මළගෙයක්, වෙන උත්සවයක් නම් දෙන්න එකටමයි ආවෙ ගියේ. අපේ තාත්ත හදිසියෙන්ම නැති වුණාම මළගෙදර වෙලාවෙ දෙන්නම නිතරම ආව, සෝමෙ මාම අම්මත් එක්ක මළගෙදර වැඩ කටයුතු සංවිධානය ගැන කතා කළා මට හීනෙන් වගේ මතකයි.  ඒ විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් අලුත බැඳපු ජෝඩුවක් වගේ මේ දෙන්න නාරම්මල ඉන්ද්‍රාණි හෝල් එකට එන හැම චිත්‍රපටයක්ම බලන්න යනව කියල අම්මල ඒ කාලෙත් හිනා වෙනව මට මතකයි. ඒ වගේ දේවල් අලුත බැඳපු ජෝඩුවක්වත් කරන්නෙ නැහැ කියලයි මටනම් හිතෙන්නෙ.

(ඔන්න ළමයි ගන්න මේ දෙන්නව ආදර්ශෙට! )

සෝමෙ මාමා (අපි කතා කලේ එහෙමයි) කාටත් උදවු පදවු කරගෙන ඉන්න, කොයි කාගෙත් දුකේදි ඉස් ඉස්සරලම යන හරිම ගුණ යහපත් මනුස්සයෙක්. අපිත් හරිම කැමතියි එයාට. ඉතින් මේ දෙන්නම එකම කාලෙ විශ්‍රාම ගත්තෙත් දෙන්නට දෙන්න තනි කරල ඉන්න බැරි නිසාමයි.

දැනට වසර දෙකකට විතර කලින් හරිම ‍ඛේදවාචකයක් සිද්ධ වුණා. සෝමෙ මාම හදිසියේම රිය අනතුරකට ලක්වුණා. අනතුරේ බරපතලකම කියන්නෙ රෝහලකට ගෙනියන්නවත් වෙලා නෑ සෝමෙ මාමට අපි අතරින් වෙන්වෙන්න සිද්ධ වුණා. මේ සිද්ධිය අපිට අපේ තාත්තව සදහටම අහිමි වුණ සිදුවීම මතකයට නංවමින් හිත් කම්පා කරවූ අවස්ථාවක් වුණා. (තාත්තගෙ කතාවත් පස්සෙ ලියනව) මළගෙදරට පුදුම සෙනගක් ආව. අපි ගිය වෙලාවෙ මේ ගුරුතුමී අපේ අම්මව බදාගෙන වැලපුණා.

අනේ රුක්මණි… බලන්න අපි දෙන්නටම එකම දේ සිද්ධ වෙච්ච හැටි… අනේ තිලක් නැති වෙන වෙලාවෙ වත් මට හීනෙන් වත් හිතුනෙ නෑ මටත් මෙහෙම වුණොත් කියලා….. ‍ අනේ මට ඔයාට වගේ හිතේ හයියක් නෑ…. මේක දරාගෙන ඉන්න. සෝමෙ අයිය අපිව දාල ගියේ ඇයි දෙයියනේ…… මට වතුර උගුරක් පොවාගන්න… වචනයක් කතා කරගන්න ලැබුණනං…….

අපිටත් දරාගන්න හරිම අමාරු වුණා මේ සිද්ධිය.

ඊට පස්සෙ අපි හත් දවසෙ දානෙට. තුන්මාසේ දානෙට එහෙම සහභාගි වුණා මතකයි.  අවුරුද්දෙ දානෙට නම් මම හිතන්නෙ අපිට යන්න බැරි වුණා. ලක්මාලිගෙ මගුල් ගෙදරදිත් හමු වුණා. ඒත් කතා කරන්න ලැබුණෙ නෑ.  ඊයෙ මගුල්ගෙදරදි මේ ගුරුතුමී අපිට මුණගැහුණා. අනේ හරියට කෙට්ටු වෙලා ඇදිල ගිහිල්ලා….

අනේ ඇයි ටීච මේ කෙට්ටු වෙලා….? මට ඇහුණ ඉබේටම

අනේ දරුවෝ ඕක අහන්ඩ එපා…. මම එළියටවත් බහින්නෙ දැන් පෙන්ෂන් එක ගන්ඩ විතරයි. ඒ බැස්සත් හැමෝම අහන්නෙ ඕක තමයි….

අපරාදෙ මමත් ඒ දේම ඇහුවනෙ මෝඩය වගේ…

මහත්තය නැතිවෙලා අවුරුදු දෙකක් වෙන්ඩ වුණා තාමත් මගෙ දුක එහෙමමයි දරුවො… මම තනිවෙලා දවස ගෙවාගන්නෙ කොහොමද කියල මටම තේරෙන්නෙ නෑ. මොන දේ කරන්ඩ ගියත් මට මහත්තය මතක්වෙනව. ඔයාලගෙ අම්මට ඒ තියෙන හයිය මට නෑ…. මමයි මහත්තයයි හරිය‍ට පොඩි වුන් දෙන්නෙක් වගේ ආදරෙන් හිටියෙ.

ගුරුතුමී හිතේ වේගෙට කියාගෙන කියාගෙන ගියා. මට ඇත්තටම දුක හිතුණ. අපිටත් එකපාරටම අකුණක් වැදුණ වගේ වුණා තමයි තාත්ත නැති වුණාම. ඒත් ටිකෙන් ටික ඒ මහා දුක තුනී වෙලා ගිහින් නව පැවැත්මක් හැදුණා. අම්මයි මමයි මල්ලියි වටා ගොඩනැගුණු ඒ පැවැත්මෙදි අපිට තාත්ත නැති අඩුව නොදැණුනා නෙවෙයි. ඒත් පිය විප්පයෝගයේ දුකට වටා අපිට දැණුනෙ තාත්ත හිටියනම් අද සතුටු වෙයි නේද අපි දිහා බලල වගේ හැගීම්. ඒත් මේ මනුස්සයට තාමත් ඒ දුක ඒහෙමමයි. තමන් ළගමයි.

අනේ දුවේ………… ඔයාල දැන් ලොකු මහත් වෙලා කසාද බඳින්න යන ළමයි නෙ. මම දෙයක් කියන්නම්. කවදාවත් එහෙම දැඩිව බැඳිම් ඇති කරගන්න එපා. කවදා හරි වෙන්වෙන්න වෙනව එක්කෙනෙක් තනි කරල අනිත් එක්කෙනාට. එහෙම බැඳුණාම වෙන්වීම දරාගන්න හරි අමාරුයි දුවේ.  මමයි මහත්තයය දෙන්න දෙන්නට පිස්සුවෙන් වගේ ආදරය කළේ. අපි දෙන්න ජීවත් වුණේ වෙනම ලෝකෙක. කෑම  කන්නෙ එකට. තේ කහට ටිකක් හරි බොන්නෙ එකට. කෑම කන්න ගියාම පොඩි එකෙක් වගේ මාලු කටු ටික සේරම මගෙ පිගානට දානව. නිදා ගන්න ගියාම පොරවන රෙද්ද මම පොරවන කල් ඔහේ ඉන්නව. මම පෙරෙවුවෙ නැත්නම් පොඩි එකෙක් වගේ මාත් එක්ක තරහයි කියනව.  අල්ලපු ගෙදරට යතත් එයා එක්ක යං කියනව. දෙන්නම මිසක් ගමේ කිසිම ගෙදරකට එයා තනියම ගොඩ වෙලා නැතිව ඇති. ඒක හරි උමතු ආදරයක්… මම මේ අවුරුදු දෙකක් තිස්සෙ විඳින දුක දක්න්න එයා නෑ නෙ. එයා නම් ගියා …. මගේ ළග කවුරු හිටියත් මහත්තය නැති ලෝකෙ මම තනි වෙලා…… එහෙම නම් කාටවත් ආදරේ කරන්න එපා…. කවදා හිටියත් වෙන් වෙන්න සිද්ධ වෙන බව දැන ගෙන ජීවත් වෙන්න. මට වෙලා තියෙන්නෙ මම ඒ දේ දැන දැනත් මගේ හිත පිළිගන්න සූදානම් නෑ මහත්තය නැතිව ජීවත් වෙන්න ඔනෙ කියන එක…….

මගේ ඇස්වලට කඳුළු පිරීගෙන එනව මට තේරුණා. (මගේ පෙම්බර ඇත්තො කියන්නෙත් මොනව නැතත් පුංචි දේටත් ටැප් එක අරින්න නම් මම හරිම හපනි කියල)  මම හිතුවෙ මට කතා කරගන්නවත් බැරිවෙයි කියල. ඒත් අපි සමුගන්න කලින් මට කියාගන්න පුලුවන් වුණා

ටීච… අද කාලෙ විවාහ ජීවිතයක් ගැන අහන්න දකින්න නැති මොන තරම් සුන්දර මතකයක්ද ටීචට තියෙන්නෙ…ඒ මතකය සිහිපත් කරලා දුක් ගන්න එපා. සතුටු වෙන්න.. කියල

මගුල් ගෙදර අමුත්තන් එකිනෙකා යුවලට ආචාර කරල නික්මෙනව. ටිකෙන්ටික හිස් වෙනව. දැල්වෙන දහස් ගණනක් විදුලි බුබුලුවලින් ඒකාලෝක වුණ ඒ මගුල් රෑ  ඈත කොනක මේසයක් ළග තනියම ඉගෛන මම කල්පනාවට වැටුණා අම්මයි මල්ලියි යන්න සූදානම් වෙනකල්.

විවාහයක් කියන්නෙ විදුලි බුබුලුවලින් ඇස් නිලංකාර වෙච්ච මේ රාත්‍රියේ සුන්දරතාවට සීමා වෙන දෙයක් නෙවෙයි නෙ. එකට ජීවත් වීම නෙ සැබෑ අභියෝගය. රණ්ඩු සරුවල්, කැප කිරීම්, දරුමල්ලන්ගෙ ප්‍රශ්න, ඥාති වර්ගයාගෙ ගැටුම්, මේ දෙන්නටත් නැති වෙන්නම නෑ නෙ. ඔය මොන තරම් ආදරෙන් හිටිය කිව්වත්. ඒ හැම සැඩ පහරකින්ම බේරිලා කුටුම්භය බේරාගෙන පෙර බැඳි සෙනෙහසත්  එපරිද්දෙන්ම රඳවා ගන්න මේ දෙන්නට පුලුවන් වුණේ කොහොමද? මොකක්ද මේකෙ රහස?

අපිට හිතල බලන්න වැදගත් දෙයක් ඒ විවාහ ජීවිතයේ තියෙනව කියලයි මට නම් හිතෙන්නෙ.

පහුගිය මාසෙ එක හැන්දෑවක මගෙ පෙම් කෝකිලයයි මමයි රාජගිරියෙ මැක්ඩොනල්ඩ්ස් එකේ පෙම් පිළිසඳරක  යෙදිලා ඉන්න අතරෙදි අපි අසල මේසෙකට ආව වයසක ජෝඩුවක්. ඒ දෙන්න අපි දෙන්නටත් සුහද සිනාවක් පාල අපි වගේම පෙම් පිළිසඳරක යෙදෙමින් කෑම ගත්ත. ටික වෙලාවකින් අපි දෙන්න යන්න එළියට බැස්සා… මැක්ඩොනල්ඩ්ස් එකේ දොර ළග මගෙ පෙම්බරය නැවතිලා මාවත් නවත්තගත්ත

ඔහොම ඉන්න මට දෙයක් බලන්න ඕනෙ…..

මමත් ඉතින් නැවතිලා බලන් හිටියා….. අර වයසක ජෝඩුව එළියට ඇවිත් අත් අල්ලගෙන තමන්ගෙ වාහනය නවතා තිබෙන තැනට ඇවිදගෙන ගිහින් වාහනේ පිටත් වෙනකල්ම ඒ දිහා අපි දෙන්නම බලාගෙන හිටිය. කියාගන්න බැරි අපූරු හැගීම් පොදියක් හිතේ පිරෙනව බරට බරේ මට දැනුණා. අනේ ඒ වෙලාවෙ හිතිච්ච හැ‍ම දේම විස්තර කරගන්න මට පුලුවන් වුණා නම්…….! මගෙ පෙම්බරය දීර්ඝ සුසුමක් හෙලා මා දිහාට හැරුණෙ අපූරු බැල්මකින්. මට ඒගැන අහන්න දෙයක් ඉතිරි වෙලා තිබුණෙ නෑ. ඒ නිසා ඒ ගැන වැඩි කතාබහක් සිදු වුණේ නෑ අපි අතරෙ

ඒත්…………… දෙන්නටම නොදැනීම අපි දෙන්න අත් අල්ලගෙන ගෙන තිබුණ…….

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මට හිතෙන හැටි. Bookmark the permalink.

16 Responses to උමතු ආදරේ…….!

  1. Maneka පවසයි:

    ela ela akka keep going…… e denna anivaryenma jiwithe windapu dennek, tika kalekata hari….
    hebei meke comments dannna giyama.. naththa panatthage wistara liyanta wena ekai wede….

  2. සිතුමිණි පවසයි:

    අපරාදෙ කියන්න බෑ…..සුන්දර වියමනක්…..

  3. Gaveen පවසයි:

    I like the what you said for her consolation.

    As you might already know, once you are in “it” there’s no stopping, no holds barred and no limitations non whatsoever is going to hold you from feeling what you do. One can say not to fall that deep in love, but who can actually control how deep you fall?

    BTW, tell your significant other that I am proud of him. 😉

  4. deeps පවසයි:

    කොච්චර පරණ වුනත් හැමදාම කියවන්න පුළුවන් ලියමනක්…ලස්සනයි

  5. හා පැටික්කි (MS) පවසයි:

    හ්ම්ම්ම්…… බොහොම හැඟුම්බර ලියමනක් අක්කා.
    අනේ මංදා…… කියන්න මුකුත් හිතා ගන්න අමාරුයි.

  6. BunnyB පවසයි:

    ලස්සනයි, ටිචගේ කතාව කියවද්දී ඇත්තටම ඇස් දෙකට කදුළු ඉනුවා. කිව්වත් වගේ නැතිවුණු කෙනෙක් ගැන දුක් වෙනවට වඩා ඒ කෙනාගෙන් අපේ ජිවිත වලට එකතු වුන සුන්දරත්වය මතක් කරලා සතුටු වෙන්න අපි කවුරුත් පුරුදු වෙන්න ඕනේ.

  7. henryblogwalker පවසයි:

    හරිම සංවේදී කතාවක්! ඔයයි පෙම්බරයයි දෙන්නමත් එකිනෙකාට ගැලපෙන සංවේදී යුවලක් බව පැහැදිලියි. මායි බිරිඳයි දෙන්නත් කොහේ ගියත් ඉඳ් ගන්නෙ එකට… 🙂

    ජනූගෙ තාත්තාගෙ අභාවය ගැන ජනූ කියලා තියෙන “ඒත් පිය විප්පයෝගයේ දුකට වටා අපිට දැණුනෙ තාත්ත හිටියනම් අද සතුටු වෙයි නේද අපි දිහා බලල වගේ හැගීම්.” කියන කොටසින් මට මගේ තාත්තා අහිමි වීම පිළිබඳව තියෙන හැඟීම නැවත අර්ථ දක්වන්න පුලුවන් උනා. 1995 දි නැතිවුන මගේ තාත්තා ගැන මට අදත් තියෙන්නෙ ඔන්න ඔය හැඟීමමයි.

    සුපිරි ලියවිල්ලක්!

    henryblogwalker the Dude

  8. Kalith පවසයි:

    වියමන නම් උපරිමේටම සංවේදීයි…අක්කෙ නරකද title එකේ අකුරු ටිකක් එහාට මෙහාට කරල උතුම් කිව්ව නම්? හිතට දැනිච්ච දෙයක් කිව්වෙ ඉතින්… 🙂

    • හ්ම් ඒකත් ඇත්ත තමයි මලේ!!
      ඒක කොච්චර උතුම් වුණත් එක සීමාවකදි උමතුවක් වෙනව… ඒ ගුරුතුමීට වෙලා තිබුනෙ අන්න ඒක…
      අවුරුදු ගාණක් එකට ජීවත් වෙලා ආදරේලබල ඒකට ඇබ්බැහි වෙලා! එයා මට කිව්වෙ ආදරේ කරන්ඩ හැබැයි ඇබ්බැහි වෙන්ඩ එපා කියන එක මං හිතන්නෙ…
      හ්ම් පණ්ඩිත කතා නං කියන්ඩ බැරියැ ගෝනි ගණං!!
      ඒත් ඇත්තට මුහුණ දෙන එක කොයි තරම් නං අමාරු ඇත්ද නැද්ද??

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )