කිරිකෝඩු බ්ලොග්කාරි ලියූ අම්මාගේ ඔසරි ලතාව

බ්ලොග් එකක් ලියන්නකො කියල මගේ පෙම්බරයත් කීප වතාවක් කිව්වා. ඒ ගැන ආසාවක් තිබුණත්  මගේ අසීමිත කම්මැලිකම බොරුවට මට වෙලාවක් නෑ අනේ කියල හංගගෙන හිටපු මම ඔන්න හදිසියෙම බ්ලොග්කාරියෙක් වුණා.

අද කාලෙකින් ගෙදර. ටිකක් වැඩියෙන් නිදා ගත්ත. ඇහැරුණේ අද කොහෙ හරි රැස්වීමකට යන්න තියෙනව කියල උදෙන්ම ඔසරිය අඳින අපේ අම්මව දැකල.පොඩි කාලෙ ඉදල මම උදේට ඉස්කො‍්ලෙ යන්න ඔසරිය අඳින අම්ම දිහා බලන් ඉන්න ආසයි.මම ඔසරිය අඳින්න පුරුදු වුණෙත් අම්ම අඳිනව බලන් ඉදලම තමයි. අද උදෙත් මම අම්ම  ලෑස්ති වෙනව බලාගෙන හිටිය.

ඒක අමුතුම කලාවක්.

අපේ අම්ම ඒ තරම් විලාසිතාවලට බර කෙනෙක් නෙවෙයි. ඉස්සර ඉස්කෝලෙ උගන්වන කාලෙ අම්ම කරට මාලයක් වත් දැමූ බවක් මට මතක නැහැ. බොහොම චාම් විදියට තමයි ඇන්දෙ පැලැන්දෙ. මම නම් ඒ තරම් ම චාම් නැහැ ඉදල හිටල සාමාන්‍ය ගමනකට ඔසරිය ඇන්දත් සාරියෙ පාටට ගැලපෙන්න පුංචි මාලයක්වත් මම දානව. අම්ම ගෙ සාරි හැට්ට මහගන්නෙත් එයාමනෙ. ඒවා හොඳට ඉන ලගටම දිග හිටින විදියට මහල තමයි අදින්නෙ. පොට නවන්නෙ දැන් තරුණියො වගේ හීන් රැලි තියල නෙවෙයි, සාරි පොට හතරට නවල ඉදිරිපස හොඳට ආවරණය වෙන්න තමයි අම්ම පොට නවන්නෙ. අම්මගෙන් පුරුදු වෙලා මමත් ඔසරිය අඳින කොට පොට නවන්නෙ ඒ විදියටයි. අම්ම ඉස්සර නම් අත් බෝරිච්චි කරල මහපු හැට්ට ඇන්ද. ඒත්… දැන් අපි වයසයිනෙ චූටි පුතේ කියල එයා අත් තරමක් දිගට හිටින්න සාමාන්‍ය අතක් දාල හැට්ට මහගෙන මට අත් බෝරිච්චි  කරල, හොඳට උසට හැට්ට මහල දෙනව. ඒ විතරක් නෙවෙයි පහසුව ගැන වැඩියෙන් හිතල වැඩියෙන් කලිසම් අඳින මට සෑම වැදගත් අවස්ථාවකටම ඔසරිය අඳින්න කියල බල කරනව

ඉතින් මම අද අම්ම ලෑස්ති වෙනව බලාගෙන කල්පනා කර කර හිටියා

ඊයෙ පෙරේද අපේ හිතවතෙක් ගේ විවාහ උත්සවයකට අපි තුන්දෙනාම ඒ කියන්නෙ අම්මයි මල්ලියි මමයි සහභාගි වුණා. අම්මයි මමයි දෙන්නම ඇන්දෙ ඔසරිය. අපි දෙන්නව දැකල මේ උත්වය‍ට සහභාගි වුණ මගේ පුංච් කාලෙ ඉදලම යෙහෙළියකගේ අම්මා මගේ යෙහෙලිය කියපු දෙයක් ආවර්ජනය කළා.

මොනවද අම්මි ඔයා ඔය හැට්ටෙ අදින විදිය. බඩ පේනවනෙ. බලන්නකො රුක්මනී ආන්ටි අදින හැටි… කොච්චර ලස්සනද පිළිවෙලයි ද?

ඇගේ අම්මත් මගේ අම්මා සමග අපේ පාසලේ ම ගුරුවරියක්ව සිටි නිසා ඇයත් ඔසරිය ඇඳි බව මට මතකයි. ඒත් ඇය හා මගේ අම්මා ඔසරිය අඳින පිළිවෙළ ගැන මා නොදුටු  නොසිතූ වෙනසක් මගේ යෙහෙළිය දැක තිබුණා. මට අම්ම ගැන හරිම ආඩම්බරයක් ඇති වුණා ඒ වෙලාවෙදි.

පෞද්ගලිකව  මම නම් වැඩි වශයෙන් සළකන්නෙ ඇඳුමක පහසුව. ඒත් පොදු ප්‍රවාහන මාධ්‍යයන්ගෙන් ගමන් පහසුව සළසා ගන්න නිසා ශරීරය හොදින් ආවරණය වෙනවද කියන එකත් බලනව. මෑත කාලෙදි මම දැකපු දෙයක් තමයි ඔසරිය විලාසිතාවේ ග්‍රහණයට ලක් වී තිබීම. පහුගිය දවසක  හවස් කාලෙ බොරැල්ලෙ භූගත පදික මාරුවෙන් පාර මාරු වෙන වෙලාවෙ  මම දැක්ක මට ඉදිරියෙන් ඔසරිය ඇඳපු ගෑණු ළමයෙක් යනව.  හරිම කලබලයකින්.  කලබලයකින් යන නිසා ඒ දිහාව බැලුණත් ඒ ළමය ඔසරිය ඇඳල හිටපු විදියට මටත් ඒ ළමයගෙ දිහාව නැවත නොබල ඉන්න බැරි වුණා. හැට්ටයත් පුලුවන් තරම් කොටට ඇඳල ඔසරියත් පුලුවන් තරම් පහතින් ඇඳල හිටිය නිසා ඒ ළමයගෙ පිට ප්‍රදේශය අඩි බාගයක් විතරම පේනව. මේක දැකපු බොරැල්ලෙ තරුණ පදික වෙළෙන්දෙක් තම මිතුරෙකුට පැවසූ දේ ඒළමයට ඇහුණෙ නෑ ඒත් මට ඇහුණා.

පිළිවෙලකට ඇඳුම ඇන්ද නම් දුවන්න වෙන්නෙ නෑ නෙ…. නැද්ද මචං

ගෑණු ළමයෙක් ඔසරියක් ඇන්දාම කොයි තරම් පිළිවෙලයිද.. ඔසරියක් ඇන්දාම මට නම් මා ගැනම පුංචි අභිමානයක් ඇතිවෙනව.  ඒක බයක් නැතිව පාරට බහින්න, තැනකට ගිහින් කතා කරන්න අවශ්‍ය ධෛර්යයක් හිතට දෙනව. හැබැයි ඒ ඔසරිය ඇඳිය යුතු පිළිවෙලට ඇන්දොත් විතරයි.   ඒ විතරක් නෙවෙයි කලිසමක් ඇඳල යන කෙනෙක්ට නංගි කියල කතා කරන බස් කොන්දොස්තරවරු පවා ඔසරිය ඇඳල යන තරුණියකට මිස් කියල කතා කරනව. මේක මටම අත්දකින්න  ලැබිල තියෙනව.

මම තනියම කල්පනා කළේ  අර ගෑණු ලමය කලබලෙන් වාගෙ දුවලා යන්නෙ ඒ ඇඳුම ඇඳල තියෙන්නෙ ගැලපෙන විදියට නෙවෙයි කියල එයාගෙ හිතට දැනෙන නිසා නෙ.

ගැහැණු විදියට ඇයි අපි ගෞරවනීය ඇඳුමක් ඇඳල අගෞරවයට පාත්‍ර වෙන්නෙ.

දැන් ඉතින් සරසවි මිතුරු මිතුරියන් මුණගැහෙන්නෙත් විවාහ උත්සවවලදිනෙ. පහුගිය සතියෙ දවසක සරසවියෙදි මා සමග බොහෝ හිතවත් වුණු මල්ලි කෙනෙකුගෙ විවාහ උත්සවය දවසෙ නන්දෙ මල්ලි කිව්ව දේකුත් මේ සමග මතක්වුණා.

අක්කෙ හොඳට බලන්න. කොල්ලො වුණත් වැඩිපුර බලන්නෙ සාරියක් ඇඳල බස් එකක උඩ ඇන්ද අල්ලගෙන යන කෙල්ලෙක් ගෙ බඩ දිහා නෙවෙයි  හිප් එක‍ට ඩෙනිමක් ඇඳල කොට ටී ෂර්ට් එකක් ඇඳල බස් එකක යන කෙල්ලෙක්ගෙ දිහාවයි.

ඒ ප්‍රකාශය ගැන නම් මට ගැටලු තියෙනව. ඒත් නන්දෙ මලය මේක කියන්න හේතු පාදක වුණෙත්  නවතම සාරි විලාසිතාවකට සැරසිලා එදා ඇවිත් හිටිය තරුණියකගේ දිහා තරුණයන්ගෙ ඉඳල රහමෙර ටිකක් තොල ගෑවුණු වියපත් පිරිමි පවා බලනව දැකලම තමයි.

මට හිතෙන්නෙ අපි කොයිතරම් විලාසිතාවලට ප්‍රිය කළත් සැබෑ ජීවිතේ දි ඇතැම් අවස්ථා තියෙනවා අපි තෝරා ගන්න විලාසිතාව ගැන දෙවරක් සිතා බලන්න වෙන. එ‍තනදි මම නම් හැම විටම බලනවා මම සැරසිලා ඉන්න විදියට මාත් එක්ක ඉන්න අම්මා හෝ මල්ලී හෝ පෙම්වතා අපහසුවට පත් නොවන ආකාරයේ ඇඳුමක් ද මා අඳින්න යන්නෙ කියන දේ. ඒ විතරක් නෙවෙයි යන්නෙ කොහොම තැනකටද කියලත් හිතන්න වෙනවනෙ.  විවාහ උත්සවයකදි වුණත් මනමාලිය ගේ සිට සහභාගි වන අමුත්තන් දක්වා මේ තත්වය පෙ‍ාදුයි.

මෙච්චර දේවල් කල්පනා වුණේ අම්ම ඔසරිය අඳින දිහාව නිදි ‍ඇ‍ෙඳ් ඉඳලම බලාගෙන ඉන්නකොට නෙ.

දුවෙක් අඳින පළඳින විදියෙන් අම්ම ගැනත්, අම්ම අඳින පළඳින විදියෙන් දුව ගැන ත් මැනෙනවා කියන දේ අවස්ථා කිහිපයකදිම මටනම් හොඳින් දැනිල තියෙනව.

ඉතින් මගේ කිරිකෝඩු බ්ලොග් සටහන පිදෙන්නේ මගේ ජීවිතයේ නිසි මග පෑදූ ඒ මගෙහි අඳුරට පහන වූ ආදර අම්මාටයි.

අම්මේ,  මා නූඹට කුණ්ඩලාභරණයක් නම් නුඹ මට මිණි කිරුලක්!!!!!

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි. Bookmark the permalink.

7 Responses to කිරිකෝඩු බ්ලොග්කාරි ලියූ අම්මාගේ ඔසරි ලතාව

  1. සිතුමිණි පවසයි:

    හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයට තවත් ලියන්න සුබ පැතුම්……..
    හැබැයි ඔබ කියන කාරණේ තව පැත්තක් තියෙනවා…ඔබ ලියා ඇති සටහන පුරාම යටින් දුවන්නේ වික්ටෝරියානු සදාචාරය තාමත් බඩ බැඳගෙන ඉන්න අපේ සමාජයේ ලිංගික කුහකත්වයේ අඳෝනාවක් කියලයි මටනම් දැනුණේ…..හොඳම උදාහරණය තමයි අර බොරැල්ලෙ යටි මඟේ කතාව…..හෙළුවෙන් ගියත් දුවන්න අවශ්‍ය නොවන සමාජ මේ කොදෙව්වෙන් පිට ඕනෑ තරම් තියෙනවා…හෙලුවෙන් දුවන්න පිස්සුද කියලා බලනවා මිසක අතවර කරන්න හිතන්නෙ නෑ…සදාචාරය කියන්නේ ඒකට…විකෘති මනසක් සහිත රෝගියෙකුගෙන් මිස එවැනි සමාජ වල මොන ඇඳුමක් ඇඳන් ගියත් කාටවත් බලපෑමක් වෙන්නෙ නෑ…අපේ කුරුවල් වෙච්ච සමාජ ආකල්ප නිසා තමයි ඇඳුම් ප්‍රශ්ණ බවට පත් වෙලා තියෙන්නේ……..මොකද බහුතරය ක්‍රියා කරන්නේ මානසික රෝගීන් බඳුව නිසයි…ඔසරියක් ඇන්දම “ගටක්” එන්නේ තවත් සමාජ ආකල්ප රැසක එකතුවේ ප්‍රතිඵලයක් ලෙසයි……ඒකේ නම් ලිංගික කුහක කමට සම්බන්ධ නැති ඉතිරි සාධක සාධනීය අංගයන්…..තමන් නියෝජනය කරන සංස්කෘතිකමය අනන්‍යතාවයන් සමඟ ඉන්නා එක හීනමානයක් නොවී ආඩම්බරයක් වෙනවානම් ඒක පෞද්ගලිකව ඒ පුද්ගලයාගෙත්, එම සන්ංස්කෘතියෙත් උසස් කම කියලයි මටත් හිතෙන්නේ…

    • hansakinkini පවසයි:

      සිතුමිණි අයියට බොහෝ තුති ප්‍රතිචාර හා දිරිමත් කරවන වදන් වෙනුවෙන්. ඇත්ත….. හෙලුවෙන් ගියත් දුවන්න නොවෙන සමාජ ලංකාවෙන් එහා ඕ‍නෙ තරම් තියෙනවා. කැමති ඇදුමක් ඇදල හරි, ඇදුම් නැතිව හරි ඉන්න එක තමන්ගේ පෞද්ගලික රුචිය විය යුතුයි. ඒ නිසා ඔබ ලිංගික කුහකත්වය ගැන මතු කරන තර්කය නිවැරදි විය හැකියි. සංස්කෘතික අනන්‍යතාව නියෝජනය කරන ඇදුම පැළදුම විද්‍යුත් මාධ්‍යවල මගඩි නාටක හරහා සමාජගත වී විකෘති නොවිය යුතු බව මගේ පෞද්ගලික මතයයි. මෙතනදි මම ඉදිරිපත් කරපු ඇතැම් උදාහරණවල ලිංගික කුහකත්වය නිරෑපණය වන බවට ඔබට තර්ක කළ හැකියි. මා හිතන්නෙ ඒ ගැන වෙනම කතා කළ යුතුයි. මන්ද මා ඒ උදාහරණ යොදා ගත්තේ එවැනි ඇදුමකින් සැරසෙන්නිය ඒ ඇදුම හරහා සිය සංස්කෘතිය නියෝජනය කරන්නියක්ද වන බැවින් එහි නිසි පිළිවෙල රැකිය යුතුයි යන්න ගෙනහැර පෑමට පමණක් නිසා

  2. අමිල පවසයි:

    හොඳට ලියන්ඩ පටන් අරන් තියනව. දිගටම ලියනු.

    නමෝ විත්තියෙන් කමෙන්ට් කරා
    දෝෂය: කරුණාකර වලංගු ඊමේල් ලිපිනයක් ඇතුළත් කරන්න. අමිලඋදාන@යාහූ.කොම් ඕක වැරදිලු.

  3. විලාසිනී පවසයි:

    අපේ දේවල් අගේ කරන විදෙශිකයො සිතුමිණ දැකල නෑ නේද? මට හමුවෙලා තියෙනව. අනේ අපේ අය මෙහෙම නෑනෙ කියන. ඒවගේම අපේ සමහරුන්ට වඩා වැදගත් විදියට අඳින. ඔසරිය ඇඳීම සහ සාරිය ඇඳීම අතර උඩරට පහතරට බෙදීමක් තියෙනවනෙ. ඇඳුමක් කියන්නෙ ශරීරයෙ විළි වහගැනීමම නෙමේ. ඒක කෘතිම ගොඩනැගීමක්. දේශපාලනික දෙයක්. වික්ටෝරියානු සදාචාරය අපේ මුතුන් මිත්තන්ගෙන් ලැබුන දෙයක් නෙමේ. අපේ අය හිටියෙ හෙලුවෙන් තමා. ඒත් දැන් එහෙම ඉන්නවනම් ඒකටත් තේරුමක් තියනව අතීතයෙ නොතිබුනු. සංකර වීම නොවීම පුද්ගලික අවශ්‍යතාවක් ඒක සමාජීය කරනවනම් ඒක විරිලැජ්ජා නැති වීම.

    • සිතුමිණි පවසයි:

      @ Vilasinee……
      විවිධ අය විවිධ අගය කිරීම් කරනවා විවිධ ආස්ථානයන්ගේ ඉඳන්…..ඒක මිනුමක් කර ගන්න බෑ…..අපේ උන් සුද්දා එන්න කළින් “හෙළුවෙන්” හිටියා කීම වැරැදියි..ඔවුන් අදාළ භෞතික,ආර්ථික සහ දේශපාලන පසුබිමෙන් නිර්මාණය කර දුන් ඇඳුම් ඇන්දා, හෙළුවෙන් හිටියේ නෑ…”සංකර වීම සමාජයීය කිරීම” කියා කියන්නේත් පුහු කතාවක් කියලයි මම හිතන්නේ

  4. henryblogwalker පවසයි:

    හොඳටම ප්‍රමාද වී හෝ උණුසුම් සුබ පැතුම්! බ්ලොග්කාරියක් හැටියට මේ වෙනකොට දිග ගමනක් ආපු බව මේ වෙනකොට හොඳාකාරව පැහැදිලියිනෙ. ඒ වගෙම ජනූගෙ සටහන් මගෙ ප්‍රියතම බ්ලොග් වලින් එකක් බව කියන්නෙ අවංකවමයි.
    ඒ වගෙම ජනූ ලියනකොට හැකිතාක් සිංහල වචනම යොදාගන්න උත්සාහ කරන බව මම දැක්කෙ මමත් ඒ දේම කරන්න උත්සාහ කරන නිසා වෙන්නැති.

    henryblogwalker the Dude

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )